Tuesday, May 26, 2015

සුභූති පාසලේ ඇත්තටම මොකද වුණේ.. – මෙන්න මොහාන්ගෙන් පැහැදිලි කිරීමක්

සුභූති පාසලේ ඇත්තටම මොකද වුණේ.. – මෙන්න මොහාන්ගෙන් පැහැදිලි කිරීමක් බත්තරමුල්ල සුභූති විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ඇති වූ තත්වය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ පල වූ වාර්තාවක් ගැන අදාල පාර්ශවයෙන් කරන ලද කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ප‍්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප‍්‍රතිචාර දැක්වීමක් සිදු කර තිබේ.
අප වෙත එවා ඇති ඒ මහතාගේ සම්පූර්ණ පැහැදිලි කිරීම මෙසේය.
මොහාන් සමරනායක,
75/852,
සුසිතපුර,
මාලබේ,
2015.05.25
කතෘ,
ලංකා සී නිවුස්,
සුභූති විදුහලේ ඇත්තටම සිදු වූ දේ.
බත්තරමුල්ල සුභූති ජාතික පාසලේ විදුහල්පතිනිය ඉවත් කිරීම අළලා මැයි 22 වැනි දා ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පල කළ පුවත ගැන, බලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් පිරිසක් විසින් එවන ලදුව  “සුභූති විදුහලේ වුණේ මේකයි” යන හිසින් මැයි 24 දා පළ කෙරුණු පැහැදිලි කිරීම මගින් මේ සිදු වීමට අසාධාරණ හා අතාර්කික ලෙස මාගේ නම ඈඳා ඇති බැවින් ද, විකෘති කිරීම්, බේගල් හා අන්‍යාලාපයෙන් කෙරෙන අභූත චෝදනා එහි ඇතුළත් බැවින් ද සමස්ථ කරුණ පිළිබඳ මාගේ ප්‍රතිචාරය, පිළිතුරු දීමේ අයිතීන් පිළිබඳ මූලධර්මය ප්‍රකාර, ඔබ වෙබ් අඩවියේ පළ කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
“උක්ත පැහැදිලි කිරීමෙහි” ඇතුළත් බොරු සංඛ්‍යාවත්, අන්තර්ගතයෙහි පරස්පර විරෝධී බවත් සලකන  කළ එය එවන ලද්දේ අධ්‍යාපන බලධාරීන් විසින් නොව අවපාලන  දඩ බලු හමුදාවේ සාමාජික, වෛරී සහ විකෘති මනසක් ඇත්තකු / ඇත්තන් විසින් යයි මම විශ්වාස කරමි. අධ්‍යාපන බලධාරීන් විසින් කළ යුතු පැහැදිලි කිරීමක් පාදඩ කල්ලියක් භාරගෙන ඇති බව පෙනී යයි. මෙබඳු නීච නඩයක් සමග කවර හෝ කතා බහක් ශිෂ්ට මනුෂ්‍යයකුට තරම් නොවන බැවින්, ඔවුන්ගේ බේගල් හා චෝදනා එකිනෙක ගෙන පිළිතුරු දීමට මම නොකැමැත්තෙමි.
එසේ වුවද දහස් සංඛ්‍යාත ලංකා සී නිවුස් පාඨකයන් සාවද්‍ය නිගමනයකට පැමිණීම වලක්වාලනු පිණිසත් මගේ හා මාගේ බිරිඳගේ කීර්තිනාමය රැකගනු පිණිසත් සිදු වූයේ කුමක්දැයි සංක්ෂිප්තව ගෙන සටහන් කළ යුතුය.
2007 ජුලි මස සිට කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කළ මගේ බිරිඳ වන ලිලානි සමරනායකගේ කාර්ය සාධනය ගුරු දෙගුරුන් සිසුන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන් බහුතරයේ ප්‍රසාදයට ලක් වූයෙන් හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විදුහලේ උත්සවයකට පැමිණි අවස්ථාවක අඩු පහසුකම් සහිත හා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් බහුතරයක් අධ්‍යාපනය ලබන පාසලක් භාරගෙන වැඩිදියුණු කිරීමට කැමැති නැතිදැයි මගේ බිරිදගෙන් විමසා බත්තරමුල්ල සුභූති ජාතික පාසැලේ විදුහල්පතිනිය ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බැවින්, එම විදුහල භාර ගන්නැයි යෝජනා කළේය.
බහුතරය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගෙන් සමන්විත පාසැලක් දියුණු කිරීම වඩා ඵලදායි සමාජ මෙහෙවරකැයි මමද කල්පනා කළ බැවින්  එම ඉල්ලීම පිළිගැනීමට බිරිඳ එකඟ වූවාය. ඉන් පසුව 2013 ඔක්තෝබර් මස රාජකාරී ආවරණ පදනම මත ඇය ශ්‍රී සුභුති ජාතික පාසැලේ විදුහල්පති ධුරයට පත්කරනු ලැබුවාය. මෙවැනි පත්වීමකදී අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙත වනුයේ පමාවකින් තොරව අදාළ පුරප්පාඩුව ගැසට් කොට අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් සුදුසුකම් පරීක්ෂා කර බලා පත්වීම ස්ථිර කිරීමයි. එම කාර්යය අමාත්‍යංශය මාස 06 ක් පමා කළ බැවින්, අයදුම්පත් කැඳවූ විට බිරිඳ අයදුම් කළ නමුත් ඒ වන විටත් අයදුම් කළ හැකි උපරිම වයස් සීමාව මාස 2 කින් ඉක්මවා ගොස් තිබූ නිසා ඇය සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුයේ නැත. රාජකාරී ආවරණය මත පත්වීම කරන විට වයස් සීමාවේ ගැටළුවක් නොතිබූ බැවින් හා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත තනතුර භාරගත් බැවින් ඇය සම්මුඛ පරීක්ෂණයට කැඳවිය යුතුව තිබූ බව මගේ අදහසයි. මේ පිළිබඳ සොයා බැලීමේදී ඇයට දැන ගැනීමට ලැබුනේ සුභූති විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා අයදුම්කළ එකම තැනැත්තිය සම්මුඛ පරීක්ෂණයට භාජන කර ඇති බවයි. එම විමසීමෙන් අනතුරුව සිදුව ඇති අතපසුවීම තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පති තනතුරේ ඇය තවදුරටත් තබන ලෙස ඉල්ලමින් පාසැල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමයේ අත්සන් සහිත ලිපි දෙකක් අමාත්‍යංශයට යොමු කරන ලෙස දැන්වීමයි. එසේ කිරීමෙන් පසු මගේ බිරිඳ සිය තනතුරේ සුපුරුදු රාජකාරිය අඛණ්ඩව කරගෙන ගියාය.
සම්මුඛ පරීක්ෂණයෙන් මාස 9 කට පසු ඉකුත් මැයි 20 වැනිදා බිරිඳ හමුවීමට පැමිණි මහත්මියක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ලිපියක් පෙන්වා අධ්‍යාපන සේවා කොමිසම විසින් තමා සුභූති විදුහලේ විදුහල්පතිනිය ලෙස පත් කර ඇති බැවින් තමාට තනතුරේ රාජකාරී භාරදෙන ලෙස ඉල්ලා ඇත. වර්තමාන විදුහල්පතිනිය ලෙස අදාළ ලිපියේ පිටපතක් මගේ බිරිඳට ලැබිය යුතු වුවද, ඒ වන විටත් එය ඇයට ලැබී තිබුණේ නැත. එපමණක් නොව තනතුර අත්හැරීමෙන් පසු ඇය කුමන ස්ථානයකට සේවයට වාර්තා කළ යුතුද යන්න පවා ඒ වන විටත් ඇයට දැනුම් දී නොතිබිණි.
අධ්‍යාපන අමාත්‍යංශ පාර්ශවයෙන් සිදු වූ වරදක් අමත්‍යංශය විසින්ම නිවැරදි කොට තිබියදී මාස 09 කට පසුව මෙවැනි ව්‍යාකූල තත්වයක් උද්ගත වූයේ දේශපාලන හේතු මත මගෙන් පළිගැනීම සඳහා යහපාලන දඩයම් කල්ලිය කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයන් වශයෙන් බවට විශ්වාසදායක තොරතුරු මට ලැබී තිබේ.
මගේ බිරිඳ වන ලිලානි සමරනායක II වන පෙළ ඉහළ පන්ති සමාර්ථයක් සහිතව වාණිජවේදී විශේෂ උපාධිධාරිණියකි. ඇය පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව, ගුරු සේවය I, විදුහල්පති ශ්‍රේණිය II හා අධ්‍යාපන පරිපාලන සේවය III යන විභාග සමත් වී ඇත. දැන් තෝරාගෙන ඇති විදුහල්පතිනියගේ ඉහළම අධ්‍යාපන සුදුසුකම අ.පො. ස (උසස් පෙළ) වන අතර ගුරු පුහුණුව ලැබ විදුහල්පති සේවය I පන්තියට මෑතකදී පත්වී ඇත. දැනට සුභූති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියක් සහ සහකාර විදුහල්පතිවරු තිදෙනෙක් සේවය කරති. ඔවුහු සියළු දෙනාම උපාධිධාරීහු වෙති. තවද මෙම පත්වීම ලබා ඇති නව විදුහල්පතිවරියට විශ්‍රාම යාමට ඇත්තේ තව වසර 2 ක කාලයක් පමණි.
මාගේ බිරිඳ  සුභූති විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වීමෙන් පසු පාසැලට සියළු අංශවලින් අත්කරදුන් ප්‍රගතිය ගුරු දෙගුරුන්ගේ, සිසුන්ගේ, ප්‍රදේශයේ සියළු පක්ෂවල දේශපාලන බලධාරීන්ගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ බලවත් ප්‍රසාදයට ලක්ව තිබේ. නිදසුනක් ලෙස වසර 72 ක් පැරණි මෙම පාසලට කිසිදු වාහනයක් නොතිබූ අතර දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සහාය ඇතිව මාස 6 ක් වැනි සුළු කාලයක් තුළ සිසු දරුවන්ගේ  හා පාසලේ රාජකාරී කටයුතු සඳහා පරිහරණයට අලුත්ම ත්‍රීරෝද රථයක් පාසලට මිලදී ගැනීමට ඇයට හැකි විය.  අ.පො.ස උ.පෙළ සිසුන්ගේ අධ්‍යාපන මට්ටමේ කැපී පෙනෙන දියුණුවක් පසුගිය වසරේ ඇති කිරීමට ඇය සමත්වී ඇත.  උදා:  අපො. ස. (සාමාන්‍ය පෙළ) සමත්වූවන්ගේ ප්‍රතිශතය 2013 වසරේදී 57% ක් වූ අතර, එය 2014 වසරේදී 68% දක්වා වර්ධනය වී ඇත.
මගේ දේශපාලන සබඳතා භාවිතා කරමින් බිරිඳට සුභූති ජාතික පාසලේ විදුහල්පති තනතුර තබා දුන් බවට දඩයම් කල්ලිය ඇගවීමක් කරන නමුදු සිසුන් 7000 ක් සහිත දිවයිනේ ප්‍රධාන පෙළේ කීර්තිමක් පාසලක් වන කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස සිටි ඇය සුභූති විද්‍යාලයට පත් කිරීම වරප්‍රසාදයක් ලෙස සලකනු ලබන්නේ දඩයම් කල්ලියේ ගද්‍රභයන් පමණකැයි මම සිතමි.
මගෙන් පළිගත් බවට දඩයම් කල්ලියට සතුටු විය හැකි නමුදු, සැබවින්ම ඔවුන් පළිගෙන ඇත්තේ මගෙන් හෝ මාගේ බිරිඳගෙන් නොව මේ රටේ අසරණ අහිංසක දූ දරුවන් පිරිසකගෙනි.
මොහාන් සමරනායක
14,869 Viewers
 6 24
 

No comments:

Post a Comment