Sunday, May 31, 2015

අගමැතිගේ තවත් එකක් අමූලික බේගලයක් බව මහින්ද කියයි.. මෙන්න නිවේදනය..

අගමැතිගේ තවත් එකක් අමූලික බේගලයක් බව මහින්ද කියයි.. මෙන්න නිවේදනය.. පසුගිය රජයේ මහා මාර්ග ඇමතිවරයාව සිටියදී රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිතයේ යොදවා ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමනට එල්ල කරන ලද චෝදනාව වත්මන් ආණ්ඩුවේ නොහැකියාව වසාගන්නට දමාගසන බොරුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.
මහාමාර්ග අමාත්‍යංශයේ රු. බිලියන 28 ක් අවභාවිත කිරීම පිළිබද  අගමැතිවරයා කළ චෝදනාව
මා මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ව්‍යාපෘති 28ක් සදහා රුපියල් බිලියන 55 ක ණයක් ලබාගෙන තිබුණු අතර මෙයින් රුපියල් බිලියන 28 කට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකි බවත් එම මුදල මා විසින් හෙළිකොප්ටර් වල ගමන් කිරීමටත් දන්සැල් පැවැත්වීමටත් යොදාගත්තා විය හැකි බවටත් අග්‍රාමාත්‍ය වරයා ඊයේ චෝදනා කර සිටියේ ය. මෙය ආණ්ඩුව පැත්තෙන් මට එරෙහිව දිගටම පවත්වාගෙන යන අවලාද ව්‍යාපාරයේම  තවත් කොටසක් වන අතර මාගේ ආණ්ඩුව මහාමාර්ග ඉදිකිරීම් ක්‍ෂේත්‍රෙය් ලැබූ ජයග්‍රහන අවමානයට පත් කිරීමේ උත්සාහයක් ද වේ. මා යටතේ පැවති මාර්ග  සංවර්ධන අධිකාරිය විසින් මහාමාර්ග ව්‍යාපෘති 28 ක් සදහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 55 ක දිගු කාලීන ණයක් ලබාගත් බව සත්‍යයකි.
නමුත් අගමැතිවරයා සදහන් කරන රුපියල් බිලියන 28 එකී රුපියල් බිලියන 55 ක දිගු කාලීන ණය පහසුකමේ කොටසක් නොවේ. එය මාර්ග සංවර්ධන අධිකාරියත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් අතර සාකච්ඡා කරගන්නා ලද වෙනම කෙටිකාලීන ණයකි. මෙකී බිලියන 28 ක කෙටි කාලීන ණය උපයෝගී කර ගන්නා ලද්දේ ජපානායේ ජයිකා ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව වැනි විදේශීය ආයතන විසින් මුදල් ප්‍රතිපාදන  සපයන මහාමාර්ග  ව්‍යාපෘති වල දේශීය කොටස ගෙවීමටත් පවතින මහාමාර්ග වල නඩත්තු කටයුතු වැනි කාරණා සදහාය. මෙම කෙටිකාලීන ණය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දෙනමෙන් ද එකී මුදල 2015 අයවැයෙන් පියවීමට පියවර ගන්නා බවද කියමින් මහා භාණ්ඩාගාරය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ලිඛිතව දන්වා තිබුණී. සියලුම මහා මාර්ග ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් හා ටෙන්ඩර් කමිටු විසින් තක්සේරුවකට ලක් කරන අතර ගෙවීම් සිදු කරන්නේ වැඩ කෙරෙන ප්‍රමාණය අනුවය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් ණය පහසුකම් වලින් මහාමාර්ග  සංවර්ධන අධීකාරිය කර ඇති වැඩ පාර්ලිමේන්තුවේ කොප් කමිටුවට ද  විමර්ශනය කර බැලිය හැක. මහාමාර්ග ව්‍යාපෘති 28 ක් සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඊට කලින් ලබා ගත් රුපියල් බිලියන 55 ක දිගුකාලීන ණය පහසුකම  යටතට වැටෙන ව්‍යාපෘති වලින් ඇතැම් ඒවා තවමත් සම්පූර්ණ කර නැති අතර එකී මුලු මුදලද සම්පූර්ණයෙන්ම භාවිතා වී නැත. මෙතැන ඇත්තේ එක ණයක් නොව දෙකක් බව සැලකිය යුතුය. අග්‍රාමාත්‍යවරයා සදහන් කල රුපියල් බිලියන 28 ක කෙටි කාලීන ණය මුදල  මුලුමනින්ම පියවීමට මගේ අවසන් අයවැයෙන් ප්‍රතිපාදන සපයා තිබුණු අතර එයට පාර්ලිමේන්තු අනුමැතිය ද ලැබුණි. අග්‍රාමාත්‍යවරයා දැන් මේ රු. බිලියන 28 මුදල ගැන විවිධ කථා ගොතමින් සිටින්නේ මම 2015 අයවැයෙන් මෙම ණය සම්පූර්ණයෙන්ම පියවීමට වෙන්කල ප්‍රතිපාදනය ඔහුගේ ආණ්ඩුව විසින් අවභාවිතයට ලක් කොට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ගෙවීමට නියමිත මුදල පියවීමට නොහැකිව හිරවී සිටින නිසා විය හැක.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධීපති

No comments:

Post a Comment