Thursday, May 28, 2015

පිරිමියෙකු ලෙස පෙනීසිටිමින් කාන්තාවක්‌ සමඟ දීගකෑ කත දැලේ

පිරිමියෙකු ලෙස පෙනීසිටිමින් කාන්තාවක්‌ සමඟ දීගකෑ කත දැලේ

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

හතළිස්‌ හැවිරිදි කාන්තාවක්‌ පිරිමියෙකු ලෙසට පෙනී සිටිමින් තවත් කාන්තාවක්‌ හා විවාහ වීම සහ වංචාකාරී ලෙසට ලිපි ලේඛන සකස්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වා ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවක්‌ මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය 2015/06/04 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට ඇත.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පදවි සිරිපුර පදිංචි සී. එම්. කුසුම් දසනායක නමැත්තියයි.

මෙහිදී වැලිගම පොලිසිය අධිකරණයට කරුණු දක්‌වමින් පවසා සිටියේ පැමිණිලිකාරිය විසින් පුවත්පතක මංගල දැන්වීමක්‌ පළ කොට ඒ අනුව හඳුනා ගෙන 2007.11.26 දින මොහු හා නීත්‍යානුකූලව විවාහ වී ඇති බවත් පුරුෂයා කොළඹ ප්‍රදේශයේ මේසන් වැඩ කළ බවද ඔහු මුදල් එවන බවටත් දන්වා සිටි බවට ද මාස 03 ක පමණ කාලයක සිට පුරුෂයා නොසලකන බවත්ය.

මේ අනුව බිරිඳ හා පුරුෂයා කැඳවා විභාග කළ අතර හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වංචනික ලෙසට හැඳුනුම්පත සකස්‌ කොට ව්‍යාජ ලෙස විවාහ වී ඇති බවට හෙළි වූ බවය. තවද වැලිගම රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පරීක්‍ෂණයට ලක්‌ කිරීමෙන් කාන්තාවක්‌ බවට දන්වා සිටි බවත්ය.

පසුව පරීක්‍ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මේ අනුව අදාළ සැකකාරිය රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ප්‍රධාන මහෙස්‌ත්‍රාත්තුමිය විසින් නියෝග කළ අතර වැඩි දුර පරීක්‍ෂණ පවත්වා වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කරන ලදී.

වැලිගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රොහාන් ඕලුගම මහතාගේ උපදෙස්‌ මත කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. සෝමසිරි මහතාගේ මෙහෙය වීමෙන් පො. සැ. නිමල් (27895), කා. පො. කො. ප්‍රියදර්ශනී (8668), ඉන්දිකා (5314) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
 

No comments:

Post a Comment