Wednesday, May 27, 2015

හොරා හොරා කිය කියා එජාපය හැමදාම රටේ ජනතාවාදී නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කළා

හොරා හොරා කිය කියා එජාපය හැමදාම
රටේ ජනතාවාදී නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කළා

- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය

ඉතිහාසයේ සිටම එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ ජනතාවාදී නායකයන්ට හොරා හොරා කියලා ඒ නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කළේ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (26 දා) පෙරවරුවේ පැවැති කාන්තා නියෝජිත හමුව අමතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මට ඡන්දය දුන් 58 ලක්‍ෂයක්‌ ජනතාව වැඩි ප්‍රතිශතයක්‌ කාන්තාවන් නියෝජනය කළේ. ඊට ඔබ සැමට මගේ ස්‌තුතිය පිරිනැමෙනවා. අද නැවත වාරයක්‌ අප වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශේෂයෙන් මේ රටේ දූ පුතුන් වෙනුවෙන් ඉදිරිපත් වී සිටීම පිළිබඳව මම ඔබට ස්‌තුතිවන්ත වෙනවා.

ඔබ අපි දන්නවා ත්‍රස්‌තවාදය පැවති යුගයේ ඔබ විඳි දුක්‌ගැහැට. ඔබේ දරුවන් පාසලටවත් යවන්න බැරි යුගයක්‌ එදා ඔබ දරුවන් පාසල් යෑව්වේ බියෙන්. දරුවා පාසලට රැගෙන ගොසින් ගෙදර වැඩ සියල්ල අතහැරලා පාසල මුර කළා. එවැනි යුගයක්‌ පසු කළේ. ඝාතන, බෝම්බ පිපිරෙයි ද කියලා ගෙදර සිටියෙත් බියෙන්. රැකියාවට යන බිරිඳත් සැමියත් එකට දුම්රියේ ගියේ නෑ. බිරිඳ බස්‌ රියෙන් යන විට ස්‌වාමිපුරුෂයා දුම්රියෙන් රැකියාවට ගියේ. එහෙම යුගයක්‌ තිබුණේ. එකට මෝටර් රථයේ ගමන් කරන්න බැරි තත්ත්වයක්‌ තිබුණේ. මෙවැනි තත්ත්වයක්‌ තිබුණු රටක්‌ අපි වෙනස්‌ කළේ.

අපි යුද්ධයේදී ත්‍රස්‌තවාදයට එරෙහිව මිසක්‌ දෙමළ ජනතාවට වෙනත් ජාතියකට විරුද්ධව නොවෙයි අපි සටන් කළේ. වසර 30 ක්‌ තිබුණු යුද්ධය, බෙදුම්වාදය අපි නතර කළා. රට බෙදන එක නතර කළා. මේ පිළිබඳ අලුත් පරපුරට යම් අවබෝධයක්‌ තිබෙනවා කියල සමහර වෙලාවට සැකයක්‌ ඇති වෙනවා. එම නිසා එදා අපි හිටියේ මොන වගේ රටකද කියලා ඔබ දන්නවා. රට බෙදලා තිබුණේ නෝමෑන්ස්‌ ලෑන්ඩ් කියලා වෙන් වෙලා. යුරෝපා රටවලින් ආපු නිරීක්‍ෂණ කණ්‌ඩායම් හිටියා. අවසර නැතුව අපිට එහා පැත්තට යන්න බැරි තත්ත්වයක්‌ තිබුණා. මෙවැනි තත්ත්වයක්‌ තිබුණු රටක විශාල වෙනසක්‌ ඇතිවුණා.

මේ වෙනසත් එක්‌ක අපි කල්පනා කළා උතුරේ ජනතාවටත් ඒ නිදහස ලබාදෙන්න. ඔවුන් වෙනුවෙන් නිවාස හදලා පාරවල් හදලා විදුලිය ලබාදීලා රෝහල් හදලා දෙන්න. මේ කටයුතු සඳහා දකුණට වඩා විශාල මුදලක්‌ උතුරු නැගෙනහිරට වියදම් කළා. ඒ අවුරුදු 30 ක්‌ ආපස්‌සට ගිය රටක්‌ පළාතක්‌ ඉදිරියට ගන්න.

ත්‍රස්‌තවාදය අවසන් කිරීමෙන් පසු අපට තිබුණ මේ රට සංවර්ධනය කිරීමේ වගකීම, ඒ වගේම විරැකියාව නැති කිරීම මේ ආදී රටේ අවශ්‍යතා හඳුනාගෙන ජනතාව අතට මුදල් ගලායන සංවර්ධන වැඩපිළිවෙළක්‌ අපි ආරම්භ කළා. ඉදිකිරීම්, කර්මාන්ත ආරම්භ කළා. ගොඩනැඟිලි පාරවල් හදන විට ගමේ ජනතාවට රැකියා උත්පාදනය වුණා. ස්‌වයං රැකියා ඇතිවුණා. මේ විදියට විශාල ආර්ථික වෙනසක්‌ රට තුළ ඇතිවුණා. ඒකපුද්ගල ආදායම වැඩිවුණා. විරැකියාව අඩු වුණා, උද්ධමනය අඩුවුණා, පොලී ප්‍රමාණය අඩුවුණා. මේ රට දියුණු වෙමින් පැවතුණා. මේවා අපෙන් විය යුතු වගකීම් දැකලා මේවා කරගෙන එන කොට තමයි වෙනසක්‌ ඇතිකරන්න කටයුතු කළේ.

රටට අපි කළ සංවර්ධනය ජනතාව දැසින් දුටුවා. අද ලංකාවේ කාපට්‌ පාරක්‌ නැති ගමක්‌ නැති තරම්. උතුරේ ගියත් නැගෙනහිර ගියත් ලංකාවේ සෑම පළාතකම ගියත් හැම තැනම සංවර්ධනය වුණා.

මේ සංවර්ධනය වටා ජනතාව ඉන්නකොට විපක්‍ෂය දැක්‌කේ මොකක්‌ද? ජනතාව මෙතනින් ඈත් කරන්න නම් සංවර්ධනය එපා කියන්නද? බෑ. රෝහල් පාසල් සාදන එක එපා කියන්න ද බෑ. මහින්දොaදය පාසල් ආරම්භ කරලා තාක්‍ෂණය ගමට ගෙනියන එක නරකයි කියන්නද? බෑ. එහෙම නම් අපේ ආණ්‌ඩුවේ සංවර්ධනයට විරුද්ධව පහර ගහන්න නම් කළ යුතු එකම දේ සංවර්ධනය තුළින් කොමිස්‌ ගහනවා කියලා ජනතාව අතරට විෂ පෙව්වා.

තරුණ පිරිස්‌ මේ බොරුව විශ්වාස කළා. දැන් බලන්න කොළඹ වරාය නගරයට එදා කිව්වේ මොකක්‌ද? චීනුන්ට විකුණලා විශාල කොමිස්‌ මුදලක්‌ ලබාගෙන අපි ඒවා බැංකුවල දැම්මා අක්‍රමිකතා වුණා කියලා චෝදනා කළා. නමුත් පසුගිය දිනක ඇසුණා අපට චෝදනා කළ මන්ත්‍රීවරයෙක්‌ ඒ කටින්ම කියනවා කිසිම අක්‍රමිකතාවක්‌ වෙලා නෑ කියලා. මැතිවරණ කාලෙදි අපට ඒ පිළිබඳව චෝදනා කරලා අද මොකක්‌ද කියන්නේ බලන්න.

අධිවේගී මාර්ගයේ වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදලින් මිලියන 30 ක්‌ අඩු කළා කියලා. අඩු කරලා තියෙන්නේ කොහොමද? මංතීරු හයක පාර අඩු කරලා. අපි මේවා සැලසුම් කළේ අද ගැන පමණක්‌ නොව අනාගතය ගැන හිතලා. අපි ගන්න හැම පියවරක්‌ම ගත්තේ ඔබේ දරුවන්ගේ අනාගත පරපුර ගැන හිතලයි. මේවා ආවාට ගියාට  හදපු සැලසුම් නොවෙයි. අපිටත් තිබුණා පස්‌ පුරවලා පාර හදන්න. නමුත් එහෙම කළා නම් මුළු නගරයම ජලයෙන් යට වෙනවා. අපි ඒවා අවබෝධයකින් කරපු වැඩ. ඉංජිනේරුවන් මොරටුව විශ්වවිද්‍යාලයේ බුද්ධිමතුන් තමයි මේවා සැලසුම් කළේ.

දැන් කියනවා දක්‍ෂිණ අධිවේගී මාර්ගය පාරක්‌ කරන්න බැරිද කියලා. පාරක්‌ ඕන නම් අධිවේගී මාර්ග මොකටද? පාරක්‌ ඕන නම් ගාලු පාර තියෙන්නේ. මේ පුද්ගලයෝ මේවා දෙස බලන්නේ වෛරයෙන්. මොවුන් අද කටයුතු කරන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවෙන්. මේවා ඔවුන්ගෙන් හදවතින් ඉවත් කළ යුතුයි. මේ නිසා තමයි මම බෝධි පූජා තියන්නේ. මගේ හිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නෑ.

අද රටේ තත්ත්වය බලන්න. උතුරේ ද්‍රවිඩ දියණියකට අතවර කරලා මරා දමා තිබුණා. මේක අපි අනුමත කරන්නේ නෑ. හෙළා දකිනවා. මේක මහ පොළව උහුලන්නේ නැති මහා අපරාධයක්‌.

ඊට සම්බන්ධ සැකකරුවන් පොලිසිය අත්අඩංගුවට ගත්තා. එක්‌ සැකකරුවෙක්‌ දේශපාලනඥයකුගේ බලපෑම් මත පොඩි නිදහසක්‌ ලැබුණා. කවුද කියලා මං දන්නෙ නෑ. මා මේ කියන්නේ නිවැරැදි කිරීමට යටත්වයි.

මේකට උද්ඝෝෂණයක්‌ කළා. හර්තාල් කළා. පොලිසියට ගැහුවා. අධිකරණයට ගල් ගැහුවා. මෙහෙම වෙන විට සංවිධානාත්මක දෙයක්‌ කියලා බලන්න කියලා අපි කිව්වේ. මොකද ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එළියටත් බයයි කියලා කතාවක්‌ තියෙනවා. අවුරුදු ගණනක්‌ තිබූ යුද්ධය නතර කරලා ජනතාවට දුන් සහනය නැති වෙනවා දකින්න අපි කැමැති නෑ. මේ අයගේ ක්‍රියාකලාපය අපි 70 ගණන්වල ඉඳලා යුද්ධය පටන් ගත්ත ආකාරය හා අවසන් වූ ආකාරය අපි දැක්‌කා.

මේ දැරිය ඝාතනය කරපු විත්තිකරුවෝ අල්ලා තියෙනවා. අවශ්‍ය නීතිමය කටයුතු කෙරෙනවා. නමුත් මේ ගිය පැටන් එක හරි නෑ. බලන්න අල්ලස්‌ කොමසාරිස්‌ කාර්යාලය ළඟ උද්ඝෝෂණය කළයි කියලා හාමුදුරුවෝ ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගත්තා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. මේ රටේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියක්‌ නැද්ද? මේ තත්ත්වයේ වෙනසක්‌ ඇතිවිය යුතුයි. අද බලන්න විරුද්ධවාදී දේශපාලනඥයෝ විතරක්‌ නොවෙයි ඔවුන්ගේ ඥතීන් හිතවතුන් දරුවන් සියලුදෙනා එක එක නඩුවලට පටලවනවා.

එදා අපේ නායිකාවට සිරිමාවෝ මැතිනියට හොරා කියලා කිව්වා. එන්. එම්. පෙරේරා මහත්තයා ගිරිදර මෝලෙන් ගැහුවා කිව්වා. ටී. බී. ඉලංගරත්න මහතාට කරවල මුදලාලි කිව්වා, ඔස්‌ටේ්‍රලියාව් ඉඩම් තියෙනවා කියලා. ඒ චරිත විනාශ කරලා දැම්මා. මේවා මේ අය ඉතිහාසයේ ඉඳලා කරපු වැඩ. ජනතාවාදී නායකයන් දෙස බලා ඒ හැම නායකයකුටම ආරෝපණය කරනවා. හොරා හොරා කියලා කිව්වා. එ.ජා.ප.ය කණ්‌ඩායම තමයි මේක කළේ. මේ පළිගැනීම් කරන ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මම කාන්තාවන්ගෙන් සමාව ගන්න ඕන කියලා. මං මොකටද කාන්තාවන්ගෙන් සමාව ගන්නේ. මට දරුවෝ තිදෙනෙක්‌ ඉන්නවා. මගෙන් කාන්තාවන්ට අසාධාරණයක්‌ වෙලා නෑ.

අපේ කාලයේ වැඩිම රැකියා ලැබුණේ කාන්තාවන්ට. කාන්තාවන්ට ස්‌වයං රැකියා ණය පහසුකම් ලැබුණා. මේ තියෙන තත්ත්වයන් වෙනස්‌ කරන්න සූදානම් විය යුතුයි. කාන්තාවන්ට විශාල වගකීමක්‌ තියෙනවා තම දරුවන් හා දරුවන්ගේ දරුවන් වෙනුවෙන් ඉටුකිරීමට. මේ රටේ අනාගතය වෙනුවෙන් සදාචාරාත්මක සමාජයක්‌ ගොඩනගන්න. වගකීම තියෙන්නේ කාන්තාවට. සංකර සමාජ ක්‍රමයකට රට තල්ලු කරන වැඩපිළිවෙළ නතර කළ යුතුයි. අද ජීවන තත්ත්වය බලන්න ඔබ මට වඩා හොඳට දන්නවා. අද පරිප්පු, හාල්, පොල්වල මිල ගණනත් අමුතුවෙන් කිව යුතු නෑ. අද වී ටික ලාභයට ගන්නවා. හාල් ටික වැඩි මිලට. ඔබ මේවා ගැන කතා කළයුතුයි. මේ රජය ගෙන යන රටට අහිතකර වැඩපිළිවෙළ නතර කළ යුතුයි. පළිගැනීම් නතර කළ යුතුයි. අද පිංකමකට එන්න ජනතාවට බස්‌ නෑ. බස්‌ ධාවනය නතර කරනවා. පුද්ගලික බස්‌ ධාවනය කරන්න දෙන්නේ නෑ. පන්සලේ වතුර ටික කපනවා. විදුලිය කපනවා. දින සීයට බෝඩ් ගැලවීමයි. මිනිස්‌සු හිරේ දැමීමයි, චෝදනා කිරීමයි හැර මොනවද කළේ. විධායක බලය නැති කරනවා කියලා ආවේ. එහෙම කිසි දෙයක්‌ වෙලා නෑ. මහ මැතිවරණයක්‌ ළඟ ළඟ එයි කියලා මගේ විශ්වාසයක්‌ තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක යන මහත්වරු ද කතා කළහ.

No comments:

Post a Comment