Wednesday, May 27, 2015

මෙවැනි අච්චාරු ආණ්‌ඩුවක්‌ ජීවිතයටම දැක නැහැ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

මෙවැනි අච්චාරු ආණ්‌ඩුවක්‌ ජීවිතයටම දැක නැහැ
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා


ඔරුවල සරත් සිල්වා

මෙවැනි අච්චාරු ආණ්‌ඩුවක්‌ තමන් ජීවිතයටම දැක නැතැයිද, යහපාලනය ගෙනෙන බව පැවසුවත් දැන් තියෙන්නේ තනිකරම කැලෑ නීතියක්‌ බවද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවසීය.යහපාලනය නීතිය හා මව්බිමේ හෙට දවස යන මැයෙන් ප්‍රගතිශීලි ජාතික සංවිධානය විසින් කොළඹ 07, වෘත්තීයවේදීන්ගේ සංගමයේදී පෙරේදා (26 දා) පවත් වන ලද සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

ජනවාරි 8 වැනිදා පත්වූ රජයේ තේමාව වුණේ යහපාලනයක්‌ දින සියයකින් දියත් කරනවා කියන එක. ඒක මේ ලෝකයේ දේශපාලන ඉතිහාසයේ අමූලික බොරුවක්‌. යහපාලනය කියන එක ජීවිත කාලයේදීවත් නිර්මාණය කරන්න අමාරුයි.

මාත් ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට, මේක ටිකක්‌ අවදානම් වැඩක්‌ බව මම දැනගෙනත් මම කනගාටුවෙන් ඡන්දය දුන්නේ.

මහින්ද රාජපක්‌ෂ තුන් වරක්‌a ඡන්දය ඉල්ලනවාට මා විරුද්ධ වූ නිසා එදා මම තමයි ඒ ප්‍රශ්නය මතුකළේත්.

යහපාලනය කියන්නේ නීතිය අනුව රට පාලනය කරන එක. කැලෑ නීතියක්‌ අනුව කවදාවත් යහපාලනයක්‌ ක්‍රියාත්මක කරන්න බැහැ. වත්මන් අගමැති පත්කරනකොට හිටපු අගමැති ඉවත්කළේ නැහැ.

කොහොමද එහෙම අළුත් අගමැති පත්කරන්නේ. කලින් අගමැති ඉවත් නොකර, දිව්රුම් දුන්නු හැටියේ ජනාධිපතිවරයා හිටපු අගමැති අස්‌කරලා ලියුමක්‌ ලියලා µයිල්එක අස්‌සේ දාගෙන අළුත් කෙනාව පත්කළා. යහපාලනය පටන්ගත්තෙම අයහපත් දෙයකින්.

මට දැන් අවුරුදු 70 ක්‌ වෙනවා. අවුරුදු 41 ක්‌ නීති අංශයේ හිටියේ. විවිධ ආණ්‌ඩු යටතේ වැඩකළා. ඒත් මේවගේ අච්චාරුවක්‌ කවදාවත් මේ රටේ සිදුවෙලා නැතිබව මම නිර්භීතව කියනවා.

ප්‍රගතිශීලි ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු අනුරුද්ධ පොල්ගම්පළ මහතාද මෙහිදී කතා කළේය.

No comments:

Post a Comment