Thursday, May 28, 2015

කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ විත්තිකරුවෝ නිදහස්‌


කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ විත්තිකරුවෝ නිදහස්‌

සමන්ත ඉලේපෙරුම


කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී ලියනආරචචිගේ ප්‍රේමවතී (අවු. 63) හා හේවාගමගේ පුෂ්පකුමාරි (අවු. 23) නමැති මව හා දියණිය අමානුෂික ලෙස ඝාතනය කර ඔවුන් පදිංචිව සිටි නිවස තුළටම දමා ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඊයේ (28 දා) නිදොස්‌ කොට නිදහස්‌ කර හරිනු ලැබුවාය.

සිද්ධියට අදාළව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙලෙස නිදහස්‌ වූයේ ඝාතනයට ලක්‌ වූ මව හා දියණිය පදිංචිව සිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හෙවත් තුෂාර හා ලොකුගම් හේවගේ චමිල නමැති විත්තිකරුවන් ය.

නඩු විභාගයෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ඇමතූ විනිසුරුවරිය, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල මගින් කැඳවන්නට යෙදුණු සාක්‌කිවල පරස්‌පරතාව හේතුවෙන් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් ව ඇති බවත්, ඒ නිසා විත්තිකරුවන් ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් නිදොස්‌ කොට නිදහස්‌ කර හැරීමට නියෝග කරන බවත් දන්වා සිටියාය.

2012 ජුනි 19 දා කහවත්ත කොටකෙතනදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (අවු. 63) හා හේවාගමගේ පුෂ්පකුමාරි (අවු. 23) යන අය ඝාතනය කර ඔවුන් පදිංචිව සිටි නිවස තුළට දමා ගිනි තැබූ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙහි චෝදනා ගොනු කොට තිබිණි.

සිද්ධියට අදාළ නඩු විභාගය සුවිශේෂ නඩු කටයුත්තක්‌ ලෙස සලකා නීතිපතිවරයාගේ ඉල්ලීම මත කොළඹ මහාධිකරණය හමුවේ විභාගය ගැනුණි.
 

No comments:

Post a Comment