Thursday, May 28, 2015

දකුණු අප්‍රිකානු රජය සහ ඊළම් ඩයස්‌පෝරාව ලන්ඩන් නුවර රහස්‌ සාකච්ඡා පැවැත්වීම

දකුණු අප්‍රිකානු රජය සහ ඊළම් ඩයස්‌පෝරාව
ලන්ඩන් නුවර රහස්‌ සාකච්ඡා පැවැත්වීම




උතුරේ තිබෙන බව කියන දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමට බටහිර රටවල පුරවැසි බව ලබා සිටින ඊළම්වාදීන්ට හිමිකමක්‌ තිබේද? පසුගිය සඳුදා ලන්ඩන් නුවර අප්‍රිකන් හවුස්‌ නැමැති ස්‌ථානයේදී ඊළම්වාදී සංවිධාන 70 ක්‌ සහ දකුණු අප්‍රිකානු රජයේ දූත කණ්‌ඩායමක්‌ අතර රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති ප්‍රමුඛ ඊළම් සංවිධාන ක්‍රියාකාරීන් සහ දකුණු අප්‍රිකානු දූත කණ්‌ඩායම අතර පැවැති සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර යථා තත්ත්වයට පත්වන තෙක්‌ දේශපාලන විසඳුමකට එළඹීමෙන් වැලකිය යුතු යෑයි ශ්‍රී ලංකාව සඳහා වූ දකුණු අප්‍රිකානු සංවිධානයේ ලේකම් පදයාවි ප්‍රීගසන් පවසා ඇත.

මෙම සාකච්ඡාවට බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුව, ද්‍රවිඩ ඊළම් ජාත්‍යන්තර කවුන්සිලය, ගෝලීය ද්‍රවිඩ සංසදය, ඇමරිකානු ද්‍රවිඩ සංසදය, ඇමරිකානු ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරය සහ රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ ක්‍රියාකාරීන් සහභාගී වී තිබේ.

ඔවුන් සමග සාකච්ඡා පවත්වා ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා අංශයේ නියෝජ්‍ය ප්‍රධානී නොමයින්දියා සෙන්ටෝ ආසියා කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂක ජනරාල් අනිල් සුක්‌ලාල්, නියෝජ්‍ය ජනාධිපතිගේ උපදේශක නොකින් හන්යා ජොල්, අග්නිදිග ආසියානු සහකාර අධ්‍යක්‍ෂක ටිසල්මන් පර්ටර් සහ දකුණු අප්‍රිකානු තානාපති ඔබෙද් මිල්බා යන පිරිසයි.

මෙයට පෙර නෝර්වේ රජය මැදිහත් වී මෙරට ජාතික ආරක්‍ෂාව දුෂ්කරතාවයකට පත් කළේය. එවන් පසුබිමක්‌ මැද දකුණු අප්‍රිකානු මැදිහත් වීමක්‌ කුමකටද? ගෝලීය ද්‍රවිඩ සංසදය හා දකුණු අප්‍රිකානු රජය අතර ඇති දැඩි සබඳතාවය පසුගිය කාලයේ වාර්තා විය.

දකුණු අප්‍රිකාවේ අසහාය නායකයාව සිටි නෙල්සන් මැන්ඩේලාගේ අවමගුලට පවා ගෝලීය ද්‍රවිඩ සංසදයට ඇරයුම් කර තිබුණි.

එසේම අප්‍රිකානු කොන්ග්‍රසයේ සංවත්සරයටද ගෝලීය ද්‍රවිඩ සංසදයට ඇරයුම් කර තිබූ බව හෙළි විය. මේ හැර කොටි ඩයස්‌ පෝරාව වසර ගණනකට පෙර ශ්‍රී ලංකා හමුදාවට බිම්බෝම්බ නාශක බපල් යුද රථ ලබා නොදෙන ලෙස කළ ඉල්ලීමටද දකුණු අප්‍රිකානු බලධාරීහු එකඟ විය.

නැගෙනහිර කොටි හමුදා නායකයාව සිටි රමේශ්ගේ බිරිය වු වත්සලා දේවි නැමැති කොටි කාන්තාවට දේශපාලන රැකවරණ දීමටද දකුණු අප්‍රිකානු බලධාරීන් ක්‍රියා කළහ.

මෙවන් පසුබිමක්‌ මැද දකුණු අප්‍රිකාවේ මැදිහත්වීම විශ්වාස කළ හැකිද?

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දේශපාලනය තීරණය කරන්නේ ඊළම් සංවිධාන යන සංකල්පයට රජය කිසිසේත් ඉඩ නොදිය යුතුය.

මේ සංවිධාන තවදුරටත් ක්‍රියාත්මක වන්නේ කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් වලිනි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ පවතින බව කියන අර්බුදයක්‌ විසඳීමට ශ්‍රී ලංකාව සඳහා වූ දකුණු අප්‍රිකානු සහයෝගිතා සංවිධානයේ ලේකම් ප්‍රීගසන් පදයාචි මැදිහත්වීමේ අරමුණ කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියා මාර්ගයට සහය වනු පිණිස දකුණු අප්‍රිකානු රජයේ සත්‍ය සෙවීමේ කොමිසමට සමාන කොමිසමක්‌ පත්කිරීමට ශ්‍රී ලංකා රජයද අදහස්‌ කර ඇත.

මේ පසුබිම මැද දෙමළ සම්බන්ධන්ධීකරණ කමිටුවට ලන්ඩන් සාකච්ඡාව සඳහා ඇරයුම් නොකිරීම ගැන අර්බුදයක්‌ මතු වී තිබේ. කෙසේ වෙතත් ඊළම් සංවිධාන දකුණු අප්‍රිකානු රජය ලවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන න්‍යාය පත්‍රය කුමක්‌ද යන්න පැහැදිලිය. ඒ බෙදුම්වාදයේ ඉල්ලීම් බන්දේසියක තබා ලබා ගැනීමයි.

කීර්ති වර්ණකුලසූරිය
 

No comments:

Post a Comment