Saturday, May 30, 2015

යළි නිවැරැදි කළ නොහැකි ජීවිත අත්දැකීමක කතාවක්‌!

යළි නිවැරැදි කළ නොහැකි
ජීවිත අත්දැකීමක කතාවක්‌!


අප ඔහුට අසංක යෑයි කියමු. අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සවුදි අරාබියේ ජෙඩා නුවර පිහිටි සුපිරි වෙළෙඳසලක සේවයට පැමිණියේ විදේශ රැකියා ඒජන්සියක්‌ මාර්ගයෙනි. ඒ 2006 වසරයි. තම සේවය දක්‍ෂ අයුරින් ඉටුකිරීම හේතුවෙන් සේවා උසස්‌ වීමක්‌ ලද අසංකට දිනක්‌ සිය සේවා ස්‌ථානයෙහි ප්‍රධානියකුගෙන් කැඳවීමක්‌ ලැබිණි. ඒ වාර්ෂිකව සේවා ස්‌ථානයෙහි සිදුකරනු ලබන රුධිර පරීක්‍ෂණයෙහි වාර්තාව ලබා දීමටයි.

"ඔයාගේ ලේ වල පොඩි ප්‍රශ්නයක්‌ තියෙන බව දැනුම් දීලා තියෙනවා. කෝකටත් තව පාරක්‌ ලේ පරීක්‍ෂා කරමු" තමා හමුවීමට පැමිණි අසංකට සේවා ප්‍රධානියා එලෙස පැවසීය. රුධිර වාර්තාවද ඔහු අතට ලැබුණද අසංක එහි සඳහන් කර තිබූ කිසිවක්‌ පිළිබඳ දැන නොසිටියේය.

සේවා ප්‍රධානියා එතැන් සිට අසංකට සිය නේවාසිකාගාරයෙහිම රැඳී මීට විවේක ගන්නා ලෙසත් පිටතට නොයන ලෙසත් උපදෙස්‌ ලබා දුන්නේය. ඔහුට ඇති රෝගී තත්ත්වය පිළිබඳව සඳහන් නොකළද අවශ්‍ය කෑම බීම හා පහසුකම් නේවාසිකාගාරයටම ලැබිණි.

දින කිහිපයකට පසු සේවා ආයතන ප්‍රධානියා අසංකට පවසා සිටියේ ඔහුට එච්.අයි.වී. වෛරසය ශරීරගතවී ඇති බවකි. එච්.අයි.වී. යනු කුමක්‌ දැයි අසංක ඒ වන විටත් දැන නොසිටියේය. ඒ අනුව එච්.අයි.වී. යනු කුමක්‌ දැයි විමසූ විට ඒඩ්ස්‌ රෝගය යෑයි ප්‍රධානියාගෙන් පිළිතුරු ලැබිණි. ඒ වන විට ඒඩ්ස්‌ යනුවෙන් රෝගයක්‌ ඇති බවට හා එය මාරාන්තික බව අසා තිබූ අසංකට එම වදන දැඩි කම්පනයක්‌ ගෙන දෙන්නක්‌ විය.

"ඒ මොහොතේ මට දැඩි වේදනාවක්‌ හා කම්පනයක්‌ දැනුණා. අසංක කියයි.

පසුගියදා එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගය පිළිබඳව කටයුතු කරන එක්‌තරා ආයතනයකදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වී ඒඩ්ස්‌ රෝගී වෛරසය සමග ජීවත්වීම පිළිබඳව සිය අත්දැකීම් මාධ්‍යවේදීන් හමුවේ හෙළිකළ අසංක එහිදී මෙම කරුණු අනාවරණය කළේය.

පසුව "දිවයින ඉරිදා සංග්‍රහය" හා සාකච්ඡාවකට එක්‌ වූ ඔහු කියා සිටියේ තමාට එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූයේ අවදානම් ලිංගික හැසිරීම්වල යෙදීම නිසා බවයි. අසංක පාසල් වියේ සිටම සම ලිංගික ඇසුරට යොමුවී සිටි අයෙකි. වයස අවුරුදු 12 දී තමා හා එකට නිදාගත් තම ලොකු අම්මාගේ 16 හැවිරිදි වියෑති පුත්‍රයා නිසා තමන් එම ඇසුරට පෙලඹුණු බව සඳහන් කළ අසංක කෙසේ වුවද තමන් විදේශ රැකියාවකට යන විට එච්.අයි.වී. වෛරසය ශරීරගතවූ අයකු බව රුධිර පරීක්‍ෂණවලදී තහවුරු වී නොතිබූ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනුව එම වෛරසය තමාට ශරීරගත වී ඇත්තේ ඡේඩා නුවර සුපිරි වෙළෙඳසලක සේවය කරමින් සිටියදී සමාජ ශාලා හා නිවාසවල පැවැති උත්සවවලට සහභාගි වූ අරාබි ජාතික පිරිමින් සමග ලිංගික ඇසුරක්‌ පැවැත්වීමෙන් පසුය.

එවැනි ඇසුරක්‌ පැවැත්වීමේ අවදානම තමා ශ්‍රී ලංකාවේ සිටියදී හෝ සවුදි අරාබියට පැමිණීමෙන් පසු අවබෝධ කරගෙන නොසිටි බව පැවසූ අසංක එවැනි ඇසුරකට තමන් සමග වෙළෙඳසලෙහි සේවය කළ විවාහක දරුවන්ද සිටින ශ්‍රී ලාංකීය පුද්ගලයන් පවා යොමු වී සිටි බව සඳහන් කළේය.

එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ බව අසංක දැනගත් පසු ඔහු තම සමීපතම යහළුවන්ටද ඒ බව පවසා ඇති අතර ඔවුන් මාර්ගයෙන් නේවාසිකාගාරයේ සිටි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු කෙටි කලකින්ම අසංක පත්ව සිටි තත්ත්වය දැනගත්තේය. කෙසේ වුවද තමන් සමග සේවය කළ කිසිදු මිතුරෙකු මෙම තත්ත්වය මත තමාව කොන් කිරීමට හෝ අපහාස කිරීමට නොපෙලඹුණු බවත් ඔහුට සාමාන්‍ය අයෙකු ලෙස සැලකූ බව අසංක කීවේය.

අසංක සේවය කළ සුපිරි වෙළෙඳසලෙහි ප්‍රධානීන්ද ඔහුට වෙනස්‌කම් නොකළේය. එහෙත් දිනක්‌ ඔහුව කැඳවූ එම ප්‍රධානීන් ශ්‍රී ලංකාවට නැවත යැමට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්හ. ඒ වන විට වසර දෙකක පමණ කාලයක්‌ තම සේවා ස්‌ථානයෙහි සේවය කර තිබූ අසංක එහිදී දැඩි අසීරුතාවකට පත්වූයේ ඔහු විසින් රැකියාවෙන් නිවාඩු ලබා නිවසට යන විට රැගෙන යැම සඳහා එකතු කර ගෙන තිබූ ඇඳුම් පැළඳුම්, ඉලෙක්‌ට්‍රොනික්‌ හා විද්යුත් උපකරණ, රෙදි සේදීමේ යන්ත්‍රය හා ශීතකරණය රැගෙන යැමට නොහැකි වන බව දැන සිටීම නිසාය.

රුපියල් ලක්‍ෂ හතරක්‌ පමණ වටිනා භාණ්‌ඩ හා ඇඳුම් පැළඳුම් ඒ වන විට අසංක විසින් මිලදී ගෙන තම නේවාසිකාගාරයෙහි තබා තිබිණි.

කෙසේ හෝ කඩිනමින් අසංකව ශ්‍රී ලංකාවට යෑවීමට ඔහුගේ සේවා ස්‌ථානයෙහි ප්‍රධානීන් කටයුතු කිරීම නිසා තමන් වසර දෙකක්‌ මුළුල්ලේ රැස්‌කර ගෙන තිබූ භාණ්‌ඩ අතහැර දැමූ අසංක තම මිතුරෙකු ලවා රුපියල් 20,000 කට චොක්‌ලට්‌ තොගයක්‌ ගෙන්වාගෙන ඒවා හා සිය ඇඳුම් පෙට්‌ටියත් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවට පැමිණ පසු ඔහු තම රෝගී තත්ත්වය පවුලෙහි කිසිවෙකුටත් අනාවරණය නොකළේය. වැඩිමහල් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ අසංකගේ පියා කම්කරු රැකියාවක නිරත වූ අයෙකු වන අතර මව ගෘහණියකි. වයඹ පළාතේ ප්‍රධාන නගරයක ඔවුන් පදිංචිව සිටී.

අසංක නිවසට පැමිණි මාස කිහිපයක්‌ ගතවූ පසු තම නගරයෙහි පිහිටි පුද්ගලික රෝහලකින් නැවත රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ගත්තේය. එවැන්නක්‌ කර ගන්නා ලෙසට සවුදි අරාබියේ ඔහු සේවය කළ සේවා ස්‌ථාන ප්‍රධානීන්ද ඔහුට ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව එම පුද්ගලික රෝහල අසංකට රුධිර පරීක්‍ෂණ වාර්තාව ලබාදී නගරයේ පිහිටි ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් සායනය වෙත ගොස්‌ වෛද්‍යවරයකු හමුවන ලෙසට දැනුම් දුන්නේය.

එම සායනය වෙත යොමු වූ අසංකව පරීක්‍ෂා කළ එහි වෛද්‍යවරයා ඔහුට එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු කළේය. ඒ බව දැනගත් මොහොතෙහි කම්පනයට පත් වුවත් එම වෛද්‍යවරයා සිත හදාගන්නා ලෙසත් භාවනා කරන ලෙසත් උපදෙස්‌ දුන්නා. එහෙත් සවුදි අරාබියේදී පළමු වරට එච්. අයි. වී. වෛරසය ශරීරගත වූ බව පැවසූ අවස්‌ථාවේදී දැනුණු කම්පනය මට එහිදී දැනුණේ නැහැ. ඒ එම අවස්‌ථාව වන විට මා සිත යම් පමණකට හදාගෙන තිබුණ නිසා" අසංක කියයි.

බුදුදහමෙහි අන්තර්ගත ධර්ම කරුණු තමා දැන සිටි අතර ඒවා වඩාත් අධ්‍යයනය කිරීමට රෝගී තත්ත්වය පිළිබඳව දැනගත් පසු තමා පෙලඹුනු බව අසංක සඳහන් කළේය.

අසංක අනතුරුව කොළඹ පිහිටි ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් කාර්යාලය වෙත ගොස්‌ ඇති අතර ඒඩ්ස්‌ රෝගීන් වෙනුවෙන් කටයුතු කළ එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වී මියගිය වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය නායකත්වය දුන් ඒඩ්ස්‌ සන්ධානයේ වැඩමුළුවලටද සහභාගි විය.

එම වැඩමුළුවලදී තම රෝගී තත්ත්වය මත මානසිකව නොවැටී මනස ශක්‌තිමත් කර ගැනීම පිළිබඳව බොහෝ කරුණු තමා විසින් ඉගෙන ගත් බවත් ඒඩ්ස්‌ රෝගීන් කෙට්‌ටු, මුහුණ මළානික වී ගිය පිරිසක්‌ බවට තමන් තුළ මුලින් ගොඩනැගී තිබූ ප්‍රතිරූපය එම වැඩමුළු හරහා වෙනස්‌ වූ බව අසංක සඳහන් කළේය.

කල්ගතවත්ම ඒඩ්ස්‌ සන්ධානයේ ව්‍යාපෘති සහකාර තනතුරට පත් අසංක ගම් නගර වෙත ගොස්‌ තමා මෙන්ම එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ තරුණ හා වැඩිහිටි අයට රෝගී තත්ත්වය හා ඒ හේතුවෙන් මනස නොවැටී තබා ගැනීම පිළිබඳව දේශන පැවැත් වූයේ තම පුද්ගලික අත්දැකීම් පිළිබඳ විස්‌තර කරමිනි.

අද ඔහු කොළඹ තදාසන්න ප්‍රදේශයක කාර්යාලය පවත්වාගෙන යන එච්. අයි. වී. / ඒඩ්ස්‌ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී එච්. අයි. වී. නිවාරණ කටයුතුවල යෙදී සිටී.

එච්. අයි. වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ අයට මෙන්ම එම වෛරසයට ගොදුරු විමේ අවදානමක්‌ පවතින පිරිස්‌වලට එච්. අයි. වී. ඒඩ්ස්‌ පිළිබඳව එය වළක්‌වා ගන්නා අයුරු හා එම වෛරසය සමග ජීවත් වන අයුරු ඔහු පැහැදිළි කර දෙනුයේ සමාජ සේවකයකු ලෙසිනි.

"මා අද කරන සේවය ගැන ඉතාමත් තෘප්තිමත්. මේ වන විට මම තායිලන්තය, ඔස්‌ට්‍රේ‍ලියාව, නවසීලන්තය ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල් ගණනාවකට ඒඩ්ස්‌ වැඩමුළු සඳහා ගොස්‌ තිබෙනවා. එම රටවල ඒඩ්ස්‌ ක්‍රියාකාරීන් හමුවී ඔවුන් සමග මිතුදමක්‌ ඇතිකරගෙන තිබෙනවා" අසංක කියයි.

ඉතා විශාල වැටුපක්‌ තම සංවිධානය හරහා තමාට නොලැබුණද තමන් ලබන වැටුපෙන් තම මවට හා පියාට උදව් උපකාර කිරීමට හැකි වී ඇති බවද අසංක අප හා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 23 දී එච්.අයි.වී. වෛරසයට ගොදුරු වූ අසංක තම රෝගී තත්ත්වය පවුලේ අයගෙන් මුලින්ම පවසා තිබුණේ තම වැඩිමල් සොයුරියන් තිදෙනාගෙන් තුන්වැනියාටය. ඒ සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ මාස කිහිපයක්‌ ගතවූ පසුවයි. ඒ බව දැනගත් පසු ඇය දැඩි ලෙස කම්පා වී හඬා වැළපුණු බවත් රෝගී තත්ත්වය රහසක්‌ වශයෙන් තබා ගත් බවත් අසංක කීවේය.

ඔහු තම මවට මෙම රෝගය පිළිබඳව පවසා ඇත්තේ වසර කිහිපයක්‌ ගතවූ පසුවය. මවට මුලින් එම රෝගය පිළිබඳ අවබෝධ නොවූ නමුත් පසුව අවබෝධ වූ පසු ඇයද හඬා වැලපුණු බව අසංක ප්‍රකාශ කළේය. කෙසේ වුවද මෙරට තම පාසල් වියේ මිතුරන්ට හෝ තම පියාට මෙන්ම වැඩිමල් සොයුරියන් දෙදෙනාට තවමත් අසංක සිය රෝගී තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කර නැත.

අසංක මෑතකදී දැඩි ලෙස කම්පාවට පත් වූයේ තම රෝගී තත්ත්වය පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ සොයුරිය පිළිකා රෝගයට ගොදුරුව මියයැම නිසාය. තමාට ජීවත්වීමට අවශ්‍ය ධෛර්යය ලබාදුන් තම සොයුරිය හදිසියේ වියෝ වීම තමන් දැඩි කම්පනයකට පත්කළ බව ඔහු පවසයි.

මියයැමට පෙර ඇය අසංකගේ අත ගෙන "මල්ලි අද මේ වගේ තත්ත්වයක ඉන්න එක ගැන මම සතුටු වෙනවා" යෑයි ප්‍රකාශ කර ඇත.

එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූවකු වසර 50 ක්‌ පමණ කාලයක්‌ ජීවත් කළ හැකි බෙහෙත් වර්ග දැන් පැවැතීම නිසා තමා බෙහෙත් වර්ග නිසි කලට ගැනීම, ව්‍යායාම, ආහාර ක්‍රමානුකූලව ගැනීම යන වෛද්‍ය උපදෙස්‌ කොතරම් කාර්යබහුල වුවද පිළිපදින බවත් තමාව දකින කිසිවකු මේ එච්.අයි.වී. ආසාධිතයකු යෑයි මොහොතක්‌වත් නොසිතන බව අසංක කියයි.

අසංකට අනුව ඔහු මාස තුනකට වරක්‌ තම රූපය පැහැපත්ව තබා ගැනීම සඳහා ෆේෂල් දැමීමට මෙන්ම දිනපතා ක්‍රීම් ආලේප කිරීමට හුරු වී සිටී.

මෑතකදී ඔහුට තමන් සමග සවුදි අරාබියාවේ සුපිරි වෙළෙඳසලෙහි සේවය කළ මිතුරකු හමුවූ අතර ඔහු තමා මේ වන විට රෝගය නිසා මියගොස්‌ තිබිය හැකි බව හෝ රෝගය නිසා සිය දිවි නසා ගන්නට ඇතැයි අනුමාන කළ බව පැවසූ බව අසංක කියා සිටියේ සිනහමුසු මුහුණෙනි.

එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වූ කිසිවකු සියදිවි නසා ගන්නවා තබා ඒ පිළිබඳව සිතීමටවත් අවශ්‍ය නැහැ. ඔවුනට නිරෝගී දිවි පෙවෙතක්‌ ගත කිරීමට හැකි වාතාවරණයක්‌ අද තිබෙනවා. ඔවුන්ද මා මෙන් ජීවිතය ජයගෙන සමාජයට සේවයක්‌ කළ යුතුයි." අසංක පවසයි.

සැබැවින්ම අසංකගේ එම උපදෙස එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වූ අයට පමණක්‌ නොව වෙනත් දරුණු රෝගාබාධ වලට ලක්‌ව මානසිකව බිඳ වැටී සිටින අයට ධෛර්යයක්‌ වන බව නොඅනුමානය.

විශේෂ ස්‌තුතිය - කොළඹ යූ. එන්. ඒඩ්ස්‌ ආයතනයේ වෛද්‍ය - දයානාත් රණතුංගට

ඒමන්ති මාරඹේ

No comments:

Post a Comment