Sunday, May 31, 2015

ගෝඨා සිංගප්පූරුව‍ට....

ගෝඨා සිංගප්පූරුව‍ට....

කතෘ:යුතුකම     5/31/2015   No comments
සිංගප්පූරු රාජ්‍ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී නාගරික සංවර්ධනය සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම පිළිබද දැනුම ලබා දෙන ලෙස, එරට විදේශ ඇමති කේ. ශන්මුගම් මහතා ගෝඨාට දැනුම් දී තිබේ.

වර්තමාන ලෝකයේ මිලේච්ඡ ත්‍රස්තවාදය තමන් ගේ භූමිය තුළදී මැඩ පැවැත්වීමේ එකම විජයග්‍රහණය වාර්තා කළ එකම රට වන්නේ ද ශ්‍රී ලංකාව ය. එයට විශාල ජීවිත වන්දියක් ගෙවන්නට සිදු වූ බව නොරහසකි.

පසුගියදා සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ 1976 දොරේඅප්පා ඝාතනය වූයේ තමන් ගේ පාලන ප්‍රදේශයකදී බව ය. දොරේඅප්පා ඝාතනය සිදු කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එය ද පිස්තෝල ප්‍රහාරයකිනි.ඉන්පසු 80 දශකයේ මුල, යාපනයේ අපරාධ සිදු කරන සාමාජිකයන් '11 දෙනා ගේ පිස්තෝල කල්ලිය' පිළිබද පුවත් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය කෙරෙනු මට මතක ය.
එකල ද සරත් ෆොන්සේකා මහතා 'ප්‍රභාකරන් ගේ කල්ලිය' දැක දැක ඉන්නට ඇත.
ඒ අනුව පැහැදිලි වන්නේ නො තිබුණු LTTE සංවිධානයක් වර්ධනය වී, නාවුක, ගුවන් සහ පාබල වශයෙන් සියලු ක්ෂේත්‍රවලින් සන්නද්ධ වන තෙක්, සරත් ෆොන්සේකා මහතාට තම සිතැගි ඉටු කර ගන්නට, දශක ගණනක් මග බලා සිටින්නට සිදු ව තිබෙන බව ය.
එය ද ගෝඨා ‍ගේ ආරාධනය ලැබෙන තුරු ය.
සියලු සැලසුම් සාර්ථක ව දියත් කළ සිංහල ප්‍රමුඛ ශ්‍රී ලාංකික මොළකරුවෝ, අවසානයේ LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් අවසන් කළ හ.

එතැන් සිට සිදු විය යුතු ව තිබුණේ කුමක් ද?

රට මූලෝපායික වශයෙන් සංවර්ධනය කෙරෙන අතරේ, අවම වශයෙන් දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදී කටයුතු මර්දනය කිරීමේ වගකීම ශ්‍රී ලාංකික හමුදාවේ නායකත්වයට පැවරීම ය. ආරක්ෂක සේවා උපදේශකයන් ලෙස ඔවුන් ‍ගේ දැනුම ඉහළ මිල ගණනට අලෙවි කළ හැකි දැනුම් පද්ධතියක් සහිත ආයතන බිහි කිරීම ය.
නිදර්ශනයක් වශයෙන් LTTE ත්‍රස්තවාදීන්ට අදහා ගන්නට නො හැකි වූ arrow boat දේශීය සංකල්පය පිළිබද තාක්ෂණික දැනුම සදහන් කළ හැකි ය.

එහෙත් සිදු වූයේ කුමක් ද?

සරත් ෆොන්සේකා මහතා නො ගැලපෙන දේශපාලනයකට ඇද දමා, යුද ජයග්‍රහණය ද බලු කුණක් බවට පත් කිරීම ය. අද විවිධ කබරු, විටින් විට පැන බලුකුණ ඇද ගෙන දුවති. නපුංසක දේශපාලුවන් රොත්තක් මැදට වැටුණු සරත් ෆොන්සේකා මහතා දැන් අයාලේ යන දේශපාලන විහිඵකාරයකු බවට පත් ව තිබේ.
යුද්ධයට අතරමැදි ව දිවි කැප කළ සියලු අය ගේ ජීවිතවලට අර්ථයක් දිය හැකි වන්නේ, එය ජයග්‍රහණයක් ලෙසින් ම ඉදිරි පරපුරට පැවරීමෙන් පමණි.
අද ජීවිත පරදුවට තබා දිනා ගත් මහා යුද ජයග්‍රහණය ගැන උදම් අණන සරත් ෆොන්සේකා මහතාට එද‍ා, දොරේඅප්පා ඝාතනයෙන් පසු පැනගිය ප්‍රභාකරන් පසුපස එළවා ගොස් මරා දමන්නට සිතක් පහළ නො වූයේ ඇයි?
ඔහුට අණක් අවශ්‍ය ව තිබිණි.
ඒ අණ මෙදා ඔහුට සැබැවින්ම දෙන ලද්දේ, ගෝඨා විසිනි.
ගෝඨා නො වන්නට, සරත් ෆොන්සේකා-වසන්ත කරන්නාගොඩ ගැටුම පවා කළමනාකරණය වන්නේ නැත. එසේ සිදු නො කළේ නම්, අද රනිල්ලාට සමරන්නට යුද ජයග්‍රහණයක් උදා වන්නේ ද නැත‍.

කවර චෝදනා එල්ල වුව ද, ගෝඨා දේශීය නාගරික සංවර්ධනයට නූතන අර්ථකථනයක් ලබා දුන් අයෙකි. එය ද ඔහු ගේ සැළසුම්වල ඵලයකි. 2014 වර්ෂයේදී අමෙරිකාවේ නිව්යෝක් නගරයේ දකුණු ආසියානු කටයුතු පිළිබද සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, ඊට පාදක වී තිබුණු විශේෂ මාතෘකාවක් වූයේ, ගෝඨා ගේ නාගරික සංවර්ධන වැඩපිළිවෙල ය.
රටක් වශයෙන් සිදු කළ යුතු ව තිබුණේ, ජයග්‍රාහී සැලසුම් ඉදිරියට ගෙන යන අතරේ, රටේ අවභාවිතයන් අවම කර ගැනීම ය. එහෙත් අද සිදු ව තිබෙන්නේ, සියල්ල අතරමග අත්හැර දමන ලද තත්ත්වයෙන් තබා ගන්නට ය.
වසර 20ක් බලය අල්ලන්නට බැරි ව ගෙදරට නාකි වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී තිබෙන්නේ රට ගොඩ නැගීම නො ව, පක්ෂය ප්‍රතිසංවිධානය කර ගැනීම ය. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නො වන, සියලු නූතන දේ විනාශ කළ යුතු යයි සිතන අමන ප්‍රතිපත්තියක් ඔවුහු දැන් අනුගමනය කරමින් සිටිති‍.
අද ශ්‍රී ලංකාව, ගෝඨා හිරගෙදරට යවන්නට මග බලමින් සිටී.
සිංගප්පූරුව, ගෝඨා රාජ්‍ය විශ්වවිද්‍යාලයට බදවා ගන්නට මග බලමින් සිටී.
වෙළෙදපළ ආර්ථිකයේ අනභියෝගී කේන්‍ද්‍රස්ථානය බදු සිංගප්පූරුව, නූතන රාජ්‍ය සංකල්පය භාවිත කරන ආකාරයෙන් සිටිනුයේ, ශ්‍රී ලංකාවට වඩා ගව් සිය ගණනක් ඉදිරියෙනි.

රනිල් වික්‍රමසිංහ යනු උගතකු නො ව, බටහිර හුළං පාරට වැනෙන පඹයෙකි.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment