Thursday, May 28, 2015

ඒකීය රටක්‌ තුළ හොඳ හෙටක්‌ ඇතිකර ගැනීම බලාපොරොත්තුවයි - පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන

 


එසේ වූයේ ඇයි..!
ඒකීය රටක්‌ තුළ හොඳ හෙටක්‌
ඇතිකර ගැනීම බලාපොරොත්තුවයි

- පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන



ඉදිරි මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට දරණ උත්සාහය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනාගතය කෙරෙහි කෙබඳු බලපෑමක්‌ එල්ල කරයිද යන කාරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ස්‌ථාවරය මෙසේය.

ප්‍රශ්නය - ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගැනීමට ඔබ ඇතුළුÊපිරිසක්‌ දරන උත්සාහය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ වීමට ඉඩ තිබෙන බවට චෝදනා එල්ලවෙනවා.

එම චෝදනා පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - අද දවසේ මේ රටේ තිබෙන දේශපාලන තත්ත්වය අනුව අපට තීරණය කරන්න වෙනවා ඉදිරි අවුරුදු පහ තුළදී මේ රටේ තිබිය යුත්තේ මෛත්‍රී-රනිල් පාලනයක්‌ද? එසේත් නොමැති නම් මෛත්‍රී- මහින්ද පාලනයක්‌ද කියන එක. අපට තේරෙන අත්දැකීම් අනුව මෛත්‍රී්‍ර - රනිල් පාලනයක්‌ ඇති වුණොත් ඒක මේ රටේ ජාතික ආරක්‍ෂාවටත්, ඒ වගේම සාමාන්‍ය පොදුජන ජීවිතවලටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්‌ අයිතිවාසිකම් වලටත් බරපතළ තර්ජනයක්‌ ඇතිවන ඒ වගේම රට මහා ෙ€දවාචකයකින් අවසන් වන පාලන යුගයක්‌ ඇතිවන්න පුළුවන්. නමුත් අපට හොඳටම විශ්වාසයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දීර්ඝ කාලයක්‌ ලේකම් ධුරය දරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ රට බේරාගෙන මේ රටට නායකත්වය සපයපු මහින්ද රාජපක්‍ෂ මහතාත් එකතුවීමෙන් මේ රටේ ජාති, ආගම්, කුල බේදවලින් තොරව සෑම මනුස්‌සයකුටම ඒකීය රාජ්‍යයක්‌ තුළ හොඳ හෙටක්‌ ඇතිකර ගැනීමේ අවස්‌ථාව තිබෙන බව. එම නිසා තමයි අපි ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගැනීමට උත්සාහ දරන්නේ.

ප්‍රශ්නය - එහෙත් මේ දක්‌වා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කර ගැනීමට දරන උත්සාහය සාර්ථකවී නැහැ. ඒ වෙනුවට ඔබ ඇතුළු පිරිස වෙනම කණ්‌ඩායමක්‌ ලෙස ක්‍රියාත්මක වීම පමණයි දකින්න තිබෙන්නේ. මෙහි අවසානය පක්‍ෂ දෙකඩවීම විය නොහැකිද?

පිළිතුර - අපි වැඩි දෙනෙක්‌ අදහන බෞද්ධ ආගමෙන් නිකාය කිහිපයක්‌ තිබෙනවා. දැන් මේ නිකාය වශයෙන් විවිධ මතවාද තිබුණත් අපි සියළු දෙනා පිළිගන්නේ එක ශාස්‌තෘවරයකුගේ දහමයි.

ඒ වගේ තත්ත්වයක්‌ තමයි අපි අතරත් මේ තිබෙන්නේ. එම තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා තමයි මේ උත්සාහය දරන්නේ නමුත් නිකාය කාරකාදීන් ඉතා දැඩි ලෙස දරදඬු වුවහොත් එම නිකායන් කැඩී බිඳී යන එක සාමාන්‍ය ලෝක ස්‌වභාවය.

මේ පිළිබඳව තීරණයක්‌ ගැනීමේ අයිතිය තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමාට නෙවෙයි. ඒ අයිතිය තිබෙන්නේ දැන් සිටින ජනාධිපතිතුමාට අපි එය තේරුම් ගත යුතුයි.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වය දරලා ඒ වගේම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වය දරල, පක්‍ෂයත් රටත් මෙහෙය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතානේ අපි පක්‍ෂයේ නියමයන්ට අනුවනේ මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළේ. එතුමා බොහොම පොඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වුණාට, එතුමාට ඡන්දය දුන්නු 58 ලක්‍ෂයත් ජනතාව වෙනුවෙන් අපට බැඳීමක්‌ තිබෙනවා. ඒ බැඳීම තිබියදි පසුගිය ජනාධිපතිවරණයෙන්, ජනාධිපතිධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්‍ෂයේ නායකත්වයට පත්වූවා. දැන් එතුමා පක්‍ෂයේ නායකයා නිසාත්, අපි එම පක්‍ෂයේ සාමාජිකයන් වන නිසාත් අපි දැන් එතුමාගෙන් බලාපොරොත්තු වනවා අපට සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයාට ඡන්දය දුන් 58 ලක්‍ෂයක්‌ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරයි කියලා. එතුමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා නම් එතුමා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැකිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල සියළුම මහඇමතිවරු සහ මන්ත්‍රීවරු රැකිය යුතුයි. එයින් අදහස්‌ කරන්නේ නෑ වැරදි කරපු මන්ත්‍රීවරු සිටිනවා නම් ඔවුන්ට දඬුවම් කරන්න එපා කියන එක. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂයේ හෝ එල්. ටී. ටී. ඊ. ඩයස්‌ පෝරාවේ වුවමනාවට ඔවුන් බිල්ලට දෙනවා නම් ඒක සාධාරණ නෑ.

අද වන විට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නම කියන විට පවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට දර දිය ඇද්ද මිනිස්‌සු දක්‌වන ප්‍රතිචාරය රටට පෙනෙනවනේ. දේශපාලන නායකයන් මෙම තත්ත්වයන් තේරුම් ගත යුතුයි. දේශපාලන නායකයන් නිතරම තමන්ගේ පාක්‍ෂිකයන්ගේ හද ගැස්‌ම තේරුම් ගත යුතුයි. එසේ නොවුවහොත් සිදුවන්නේ විනාශයක්‌.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කවදාවත් තනිව ආණ්‌ඩු පිහිටුවා නෑ. සෑම විටම ආණ්‌ඩු පිහිටුවා තිබෙන්නේ විවිධ පාර්ශ්වයෙන් යුතු සංවිධානයක්‌ තුළින්.

අපි නියත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සංධානයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනවා. මගේ පුද්ගලික අදහස තමයි ප්‍රභාකරන් මරල කොටි ත්‍රස්‌තවාදය විනාශ කළ පසු එතුමා සමඟ බටහිර මහබලවතුන් සහ ඩයස්‌පෝරාව, බද්ධ වෛරයකින් පසුවනවා. ඊට සම්බන්ධ වූ සියලුදෙනා සමඟත් ඒ වෛරය තිබෙනවා. ඊට දඬුවම්දීම මහින්ද රාජපක්‍ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් රණවිරුවන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නොනැවතී එම පලිය මුලු ජාතියෙන්ම ගැනීමට අන්තර්ජාතික වැඩපිළිවෙලක්‌ තිබෙනවා. අපි කටයුතු කරන්නේ එම වැඩ පිළිවෙල පරාජය කිරීම සඳහා.

ප්‍රශ්නය - ඔබ සඳහන් කළා. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සංවිධානයකින් තරග කරන බව. එම ප්‍රකාශයෙන් ගම්‍ය වනවානේද ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ දෙකඩ වන බව.

පිළිතුර - මම නිතරම සිතන්නේ එසේ නොවිය යුතුයි කියල. මහින්ද රාජපක්‍ෂයෙන් තොරව එහෙම වෙන්වීමත් සිදුවහොත් ඔවුන්ට ඉතිරි වන්නේ ඉතාම බෙලහීනවූ සුළු කොටසක්‌ පමණයි. ඔවුන්ට තියෙන්නේ එජාපක්‍ෂයට බැඳිල හංසයගෙන්ම ඉලන්න. අපට එක්‌සත් වන්න බැරි වෙනම ඉල්ලුවත් ලොකු වෙනසක්‌ වන්නේ නෑ. එම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ වන බවට කරන තක්‌සේරුව වැරදියි.

ප්‍රශ්නය - වෙනම පාර්ශ්වයක්‌ ලෙස මැතිවරණයට ඉදිරිපත් වනවා නම්, මැතිවරණයට තරග කරන්නේ කෙසේද?

පිළිතුර - එසේ නොවේවා කියන එකනේ ප්‍රාර්ථනය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියල. නමුත් අපට එක සහතිකයක්‌ දෙන්න පුළුවන් ඉදිරි මහමැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කරන බවට.

ප්‍රශ්නය - මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිදුවන බල අරගලය නිසා ඊට අනුබද්ධ ජාතික ව්‍යාපාර විනාශයට පත්වේද?

පිළිතුර - 1956 දී ජයග්‍රහණය ලැබුවේ ශ්‍රී ලංකා නිදහස ප්‍රමුඛ මහජන එක්‌සත් පෙරමුණේත් එක දේශපාලන රැල්ලක්‌. එම රැල්ල ඇතිවුණේ සිංහල - බෞද්ධ ජනතාවට සිදුවූ අසාධාරණය නිසයි. එම රැල්ල නිසා තමයි යුග පෙරළියත් සිද්ධ වුණේ.

ඉන් පසුව නැවත දේශපාලන රැල්ලක්‌ ආවේ. 1977 දී. එම රැල්ල නිසා තමයි ඡේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය ගෙන ආවේ. එම රැල්ල නිසා එන්. එම්. පෙරේරා වගේ අය වින්සන් පෙරේරා වගේ අයට පරාජය වූණා. කොල්වින්ලාවගේ ප්‍රබල දේශපාලන චරිතය පරාජය වූවා. ඊට පසුව නැවත රැල්ලක්‌ ආවේ 1994 දී. ඒක ආවේ ඡන්දයට. එම රැල්ලට හේතු වූයේ එජාපක්‍ෂයේ මිනීමරු පැසිස්‌ට්‌ භීෂණයට එරෙහිව. නමුත් මහින්ද රාජපක්‍ෂට යුද්ධය දිනලත් රැලි ආවේ නෑ. මහින්ද රාජපක්‍ෂට රැල්ල ආවේ පරාජයට පත්වූ පසුව. එම නිසා දැන් දේශපාලන විග්‍රහය වෙනස්‌. දැන් මේ රැල්ල 56, 77, 94 රැල්ල වගේ 2015 රැල්ල. මේ වන විට සුනාමියක්‌ වගේ යට කැරකි කැරකී තිබෙන්නේ. ඡන්දය දවසට තමයි ඒක පිටාර ගලන්නේ.

සාකච්ඡා කළේ - එරික්‌ ගාමිණී ජිනප්‍රිය
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

No comments:

Post a Comment