Wednesday, May 27, 2015

රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නා ක්‍රමය නීතිවිරෝධියි – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නා ක්‍රමය නීතිවිරෝධියි – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා


කිසිදු නීතියකින් තොරව අත්තනෝමතික ලෙස වත්මන් ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නා බව හිටපු අගවිනිසුරු සරත්  එන්. සිල්වා මහතා පෙරේදා (26) කොළඹ දී පැවැති දේශනයකදී ප්‍රකාශ කළේය.
යහපාලනයේ නීතිය සහ මව්බිමේ හෙට දවස මැයෙන් විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පැවැති දේශනයකදී තවදුරටත් අදහස් දැක්වූ සරත් එන් සිල්වා මහතා පෙන්වා දුන්නේ  මෙම ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියම යහපාලනයට පටහැණි ක්‍රමයක් වූ බවයි.
යහපාලනය කියන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීම. නමුත් වත්මන් ආණ්ඩුව සිදුකරන්නේ පවතින නීතිරීති උල්ලංඝනය කිරීමයි. වත්මන් ආණ්ඩුව දූෂණ චෝදනා මත හිටපු ඇමැතිවරුන් සහ ‍ලේකම්වරුන් අත්අඩංගුවට ගත්තා. ස්ථීර ‍ලේකම්වරයකු මූල්‍ය විමර්ෂණයකින් තොරව අත්අඩංගුවට ගැනීමට නිත්‍යනුකූල හැකියාවක් නෑ. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ ඇතැම් ඇමැතිවරුන් ගේ උපදෙස් මතයි. ඉන් සිදුවන්නේ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීමයි. බැසිල් රාජපක්ෂ මහතා කටඋත්තරයක් ලබා දීම සඳහා තමයි ‍පොලිසියට ගියේ. එහෙත් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. එය නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමක් නොවෙයි. මෙවැනි දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ පවතින නීතියට පටහැනියි.
මමත් කනගාටුවෙන් වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට සිදුවුණා. එයට හේතුවක් වුණේ හිටපු ජනාධිපතිවරයා නැවත වරක් පත්වීම පිළිබඳව මා විරුද්ධ වූ නිසයි. එයට අකමැති වූ නිසයි. මට දැනුණා මේ ආණ්ඩුවේ මොකක් හරි අවුලක් එයි කියලා. ඒත් මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වර ඉල්ලනවාට විරුද්ධ වුණා.
සැබැවින්ම යහපාලන ආණ්ඩුවක් දින සියයක් තුළ හදන්න බෑ.  වත්මන් ආණ්ඩුව තුළ කිසිදු යහපාලනයක් ජනතාවට සිදුවන බවක් පෙනෙන්නට නැහැ. වත්මන් ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන් කියා තිබෙනවා දින සියයක් තුළ විශාල වැඩපිළිවෙළක් කළ බව. මෙවැනි කෙටි කාලයක් තුළ ජනතාව වෙනුවෙන් එවැනි යහපාලන වැඩපිළිවෙළක් කරන්න බෑ. යයිද ඔහු තවදුරටත් එහිදී ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment