Wednesday, May 27, 2015

කෙහෙළිය එජාපයට එන්න තුන්පාරක් බැගෑපත් වුණා.. අපි ගන්නෙ නෑ..

කෙහෙළිය එජාපයට එන්න තුන්පාරක් බැගෑපත් වුණා.. අපි ගන්නෙ නෑ.. තමන් එක්සත් ජාතික පක්‍ෂයට එක්කරගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවස්ථා තුනකදී බැගෑපත් වී ඇතැයි එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේය.
එජාපයට එක්වීමේ කිසිදු සූදානමක් නැති බව කියමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ට හුරුපුරුදු ශෛලියෙන් ආඩම්බර කතා රැසක් ප්‍රකාශ කරමින් සිටි. ඒ මහතා යළි එජාපයට එක්වන බව හෝ ඒ සම්බන්ධ උත්සාහයක් ක්‍රියාත්මක බවට කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් අප පක්ෂයේ කිසිදු වගකිව යුත්තෙකු මේ දක්වා එකදු හෝ අවස්ථාවක සඳහන් කර නොමැති පසුබිමක හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශ සමාජය බාරගතයුත්තේ හුදු මනෝරාජික සිතුවිල්ලක් ලෙස පමණකි.
දුර්දාන්ත රාජපක්ෂ පාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටිමින්, එහි සෑම නොපනත්කමකටම සුදුහුණු තැවරීමේ රාජකාරිය නොඅඩුව කරමින්,”රෙදි අපුල්ලන්නෙක්” ලෙස මෙරට ජනමාධ්‍ය තුළ කතා බහට ලක් වූ කෙහෙළිය රඹුක්වැල්ල වැන්නෙකු එජාපයට සම්බන්ධ කරගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත. කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය එයවුවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු යළි අප පක්ෂයට සම්බන්ධවීමට ඔහු අවස්ථා තුනකදී උත්සාහ කළ බව දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ රහසකි.
ජනවාරි 08 වනදා රාජපක්‍ෂ රෙජීමයේ මහා පරාජයෙන් පසු ඔහු කඩිමුඩියේම, විපක්‍ෂනායක කාර්යාලයට පැමිණ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමා යළි එක්සත් ජාතික පක්‍ෂයට බඳවා ගන්නා ලෙසට ආයාචනා කළේය. ඉන්පසුව අවස්ථා දෙකකදී, අරලියගහ මන්දිරයට පැමිණ යළි යළිඳු ඒ ආයාචනයම කළේය.
එම හමුවීම් වලදී, කුමන කොන්දේසි යටතේ හෝ තමන්ව යළි එජාපයට බඳවා ගන්නා ලෙස බැගෑපත්වූ ආකාරය අන් සියල්ලටම වඩා කෙහෙළියගේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
රටේ ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් ලැබෙන හෘදයාංගම විශ්වාසය සමඟින් මේ වන විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහි ගමනක් අරඹා තිබේ. කුමන බාධක, කකුල් වෙට්ටු දැමූවද දැන් එය ආපසු හැරවිය නොහැක. ගලන ගඟක් මෙන් එය ඉදිරියටම ඇදෙනු නිසැකය. යහපත්, ‍ශිෂ්ඨ වටිනාකම් ගරු කරන දේශපාලන සංස්කෘතියකට මුලපුරමින් අප අරඹා ඇති එම ගමන තුළ පොදු දේපළ කොල්ලකෑ දූෂිතයන්ට, චෞරයන්ට කිසිදු ඉඩක් නැත. අප පක්‍ෂය එක්කර ගන්නේ, යහපාලනය, නවදේශපාලන සංස්කෘතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු ශීලාචාර පුද්ගලයින් පමණි. ටෙලිනාට්‍යය වලින් පවා ගසා කෑ කොමිස් කාක්කන්ට අප පක්‍ෂයේ ඉඩක් හෝ තැනක් නැත.
කබීර් හෂීම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය
2015 මැයි 27

No comments:

Post a Comment