Thursday, May 7, 2015

නාමල්ගේ ආරක්‍ෂකයා මෛත‍්‍රී ඝාතනයට ආවාද? මහින්ද පැහැදිලි කරයි..



නාමල්ගේ ආරක්‍ෂකයා මෛත‍්‍රී ඝාතනයට ආවාද? මහින්ද පැහැදිලි කරයි..

ජනාධිපතිවරයාගේ රැස්වීමකට නාමල් රාජපක්‍ෂගේ ආරක්‍ෂකයෙකු ගිනි අවියක් ගෙන ඒමේ චෝදනාව මත යුධ හමුදා කොප්රල්වරයකු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

ඉකුත් අප්‍රෙල් 25 වනදා ජනාධිපතිවරයා ද සහභාගී වූ ශ්‍රී.ල.නි.ප. හම්බන්තොට දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට ගිණිඅවියක් රැගෙන එමේ චෝදනාව මත යුධ හමුදාවේ කොප්රල් සේනක කුමාර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. කොප්රල් කුමාර මගේ ආරක්‍ෂක කණ්ඩායමේ සමාජිකයෙකි. මාගේ ඉල්ලීම පරිදි ඔහු මාගේ පුත් නාමල් සමග ශ්‍රී.ල.නි.ප. දිස්ත්‍රික් කමිටු රැස්වීමට ගියේය. ඔහු සමග සිටි ප්‍රදේශීය සභා හා පළාත් සභා සමාජිකයන්ට ප්‍රභූවරැන්ගේ දොරටුවෙන් ඇතුලු වීමට ඉඩ නොදුන් නිසා ඔවුන් සියලු දෙනාම පොදු දොරටුවෙන් ශාලාවට ඇතුලු වී තිබේ. කොප්රල් කුමාර දොරටුව අසල රැදී සිටි ඇත.

මද වේලාවකට පසු පොලිස් විශේෂකාර්ය බලකායේ නිළධාරියෙක් ඔහු කවුදැයි ඇසූ විට තමා නාමල් මන්ත්‍රී වරයා සමග පැමිණි බවත්, තමා යුධ හමුදාවේ සමාජිකයෙක් බවත් කොප්රල් කුමාර ඔහුට පවසා තිබුණි. එම ස්ථානයේ රැදී නොසිටින්නයි ඔහුට කී විට කොප්රල් කුමාර තමාගේ වාහනයට ආපසු ගොස් තිබේ. රැස්වීමෙන් පසු මාගේ පුතාත්, කොප්රල් කුමාරත් සෙසු අයත් ගෙදර පැමිණියේය. මාගේ ආරක්ෂකයෙක් ශ්‍රී.ල.නි.ප. රැස්විමට ගිනි අවියක් සමග පැමිණ හසුවි ඇති බවට අප පසුව දැනගත්තේ මාධයේ පළවු වාර්තා වලිනි. ජනාධිපතිවරයා පැමිණි රැස්විමටකට නිළ බලයක් නැති අයකු ගිනි අවියක් රැගෙනවිත් තිබුනේනම් ඔහුව එම මොහොතේම අත් අඩංගුවට ගත යුතුව තිබුණි. රහස් පොලීසිය කොප්රල් කුමාරගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ ඊට දින දෙකකට පසු අප්‍රේල් 27 වන දාය. ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මේ සිදුවූවා යැයි කියන සිද්ධියට සතියකට පසු මැයි 02 වනදාය.

තමා මාගේ පුත් නාමල් සමග ශාලාව අසලට යාමට පෙර තමා සතුව පැවති ගිනි අවිය ඔවුනගේ වාහනයේ යුද හමුදා රියදුරුට භාර කල බව කෝප්රල් කුමාර රහස් පොලිසියට දන්වා ඇත. යුධ හමුදා රියදුරු මහතා ද ඒ ප්‍රකාශය සනාථ කොට තිබේ. කිසිදු වරදක් නොකළ යුද හමුදා සෙබලෙක් මේ ආකාරයට බන්ධනාගාර ගතකොට තිබෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ගැන කතාවක් ගොතා එයට මාගේ පුත්‍රයාද පටලවා ගැනීමට බව පැහැදිලිය. යුධ හමුදා සෙබලෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙක් සමග ගියේ කෙසේ දැයි ඇතැම් අය අසති. නමුත් හිටපු ජනාධිපතිවරයකුට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටද ආරක්ෂාව සැපයිම සාමාන්‍යෙයන් සිදුවේ. එවක යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියනියන් දෙදෙනාට ආරක්‍ෂාව සැපයීමට යුධ හමුදා කොමාන්ඩො භටයින් පිටරට පවා යවා තිබු බව මෙහිදී මතක් කර දිය යුතුය.

කොප්රල් කුමාර අත්අඩංගුවට ගැනීම මටත්, මා සමග සිටින සැමටත්, අප පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව දිගින් දිගටම ගෙන යන අවලාද හා අඩන්තේට්ටම් ව්‍යාපාරයේම තවත් අංගයක් බව පැහැදිලිය. මේ අඩන්තේට්ටම් කිරිම දැන් මාගේ ආරක්ෂාව සපයන හමුදා අංශ සමාජිකයන්ටත් එල්ල වෙමින් පවති. මීට කලින් අවස්ථාවකදී මාගේ පියාගේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා තිබුනු සියළුම වාහන ඉවත් කරන ලදී. එම නිසා මෙම පොලිස් නිලධාරින්ට තම රාජකාරී කටයුතු කිරිමට සිදු වී තිබෙන්නේ විශාල දුෂ්කරතා මධ්‍යයේය. මටත්, මාගේ පවුලේ සමාජිකයන්ටත් එරෙහිව ඇති දේශපාලන හා පුද්ගලික කෝන්තරවලට යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් පටලවා නොගන්නා මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමට මම කැමැත්තෙමි.

මීට කලින් අවස්ථාවකදී මමත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්‍ෂව සිර භාරයටෙගන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් ඒම හමුව සදහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇනියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

No comments:

Post a Comment