Sunday, May 24, 2015

ගොවිතැනට මහ මෙහෙවරක්‌ කළ මහවැව ගොවීන්ගේ අද ඉරණම


ගොවිතැනට මහ මෙහෙවරක්‌ කළ
මහවැව ගොවීන්ගේ අද ඉරණම


කෘෂිකාර්මික සංවර්ධනය රටේ සමෘද්ධිය හා සශ්‍රිකත්වය පිළිබඳ නළල රැළි ගන්වන සංඛ්‍යාලේඛන සංදර්ශන මාධ්‍ය ජාලයන් තුළ කන්දොස්‌කිරියාවක්‌ බවට පත්ව තිබේ.

ඒ කෙසේ වෙතත් දිනෙන් දින පුරන් බවට පත්වන බිම් වැඩිවෙමින් පවතී. රුපියල් 5.00 වැනි මුදලකට කලකට පෙර මිලදී ගත් ඉස්‌තරම්ම උදළු තලය අද රුපියල් 1500.00 කි. මෙයින්ම ගොවියා රජවීම සිහිනයක්‌ බැව් පසක්‌ කරගන්නට පිළිවන.

මේ සිදුවෙමින් පවතිනුයේ ගොවියාට ගොවිතැන එපා කරවන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ද. ගොවි ගැටලු ඉහවහාගිය තවත් වැවකට ඉකුත්දා අපි දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් ගියෙමු. මේ ඒ සටහනයි.

මෙහිදී අපට මුණගැසුණු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහවැව ගොවි ව්‍යාපාරයේ පැරැණි ගොවියෙකු වන කේ. ඒ. අමරතුංග (68) සිය අදහස්‌ පළ කළේ මෙසේය.

ගොවියන්ට හරිම ප්‍රයෝජනවත් වැවක්‌ වුණත් මේ මහවැවේ ජලයෙන් නියම ප්‍රයෝජනය ලබන්නට ගොවියන්ට අවස්‌ථාවක්‌ නැහැ. මේ බලන්න මේ වැව් බැම්ම කොයි මොහොතේ කඩාගෙන යයි ද කියලා කියන්න බෑ. අපි හිතුවේ මේ පාර වැහිවලට බැම්ම කඩාගෙන ගිහින් කුඹුරුත් යටවෙලා මහා විපතක්‌ වෙයි කියලා. මේ බැම්මේ කිසිම හැඩයක්‌ නෑ පතුලේ ඉඳලා පළලට උඩටම මේ බැම්ම හැදෙන්න ඕනෑ. වැව් බැම්ම වතුර පාරට හෑරිලා හෑරිලා තැන්තැන්වල කඩා වැටිලා ට්‍රැක්‌ටර් ගිහිල්ලා තවත් තැන්වල ගිලා බැහැලා වැව් බැම්ම උඩ පළලක්‌ නැහැ. වැව් බැම්ම හේදෙන එක වළක්‌වන්න ගල් අල්ලා රළ පනාව දැමිය යුතු වුවත් ඒක තවමත් හදලා නැහැ රළ පනාව තියෙන්නට ඕනෑ නැත්නම් වැවේ පැවැත්මක්‌ නෑ. ඒක නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මහ වැවේ රළ පනාව හදන්න ඊළඟ ඉඩෝර කාලෙටවත් පටන්ගන්න කියලා. මේ වැව විශාල පිරිසක්‌ ජීවත්වෙන වැවක්‌.

ඊ. එස්‌. සූරසේන (35) - වැවකින් ලැබෙන අතුරු ප්‍රතිඵලයක්‌ තමයි ධීවර කර්මාන්තය. නිකම්ම තියෙන ජලයෙන් ලැබෙන ප්‍රයෝජනයක්‌ ඒක. මහවැව ධීවර සමිතියක්‌ තියෙනවා ඒකෙ සාමාජිකයින් 21 ක්‌ පමණ ඉන්නවා. මේ වැව්වලට මාලු පැටව් රජයෙන් ක්‍රමානුකූලව විධිමත් ලෙස නිසි කාලයට දැමිය යුතුයි. ඒත් එවැනි දෙයක්‌ සිදුවන්නේ නැහැ. ඒත් ධීවර අංශවලින් අපිට කියනවා මේ වැවට දාන්න මාලු පැටව් නෑ කියලා. එහෙම කියලා හරියන්නේ නැහැ. මේ ධීවරයින් තමන්ගේa වෘත්තිය කරගෙන යන්න නම් වැවට මාලු දාන්න ඕනෑ කැට්‌ලා, කොමන්, තිලාපි, ඉස්‌සා, චීනා, රිදීකාපියා වගේ එවුන් මේ වැවට දාන්න ඕනෑ 2014 අවුරුද්දේ පැටව් 40,000 ක්‌ විතර දැම්මා ඒ දාලා තියෙන්නේ නියම මාලු නොවෙයි දණ්‌ඩි වගේ ලොකුවෙන්නේ නැති මාලු. පස්‌සේ අපි මාලු පැටව් 50,000 ක්‌ විතර වැවට ගෙනත් දැම්මා. පිටවානෙන් දැලක්‌ නැතිකම නිසා වැවේ මාලු පහළ වැව්වලට යනවා. ඒකත් වළක්‌වා ගතයුතු දෙයක්‌.

ලාල් ප්‍රේමරත්න (46)- මහවැව ගොවියන්ට හරිම ප්‍රයෝජනවත් වැවක්‌. ඒත් රජය මගින් අවශ්‍ය පහසුකම් නොදීම නිසා ගොවීන්ගේ බලාපොරොත්තු සුන්වෙලා. මේ වැව පෝෂණය වෙන්නේ වැසිදියෙන්. වැව හදලා තියෙන්නේ 1960 සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනි කාලේ. දැනට අක්‌කර 180 ක්‌ විතර පහත්බිම් තියෙනවා. ඒත් කුඹුරු වැඩ කරන්නේ අක්‌කර 60 ක්‌ විතරයි. ඒ කියන්නේ අක්‌කර 1 බැගින් පවුල් 60 ක්‌..... පහත් බිම් විශාල ප්‍රදේශයක්‌ පුරා තියෙනවා. ඒත් ඒ පහත්බිම්වලට ජලය ගෙනයන්න විදියක්‌ නෑ. ඇළක්‌ කපලා තියෙනවා ඒක පුපුරා උමං හෑරිලා ඒවයින් වතුර අපතේ යනවා ඇළවල් කොන්ක්‍රීට්‌ කරලා නැහැ. දෙපළක්‌ විතරක්‌ සිමෙන්නි ටිකක්‌ දාලා තියෙනවා. එයින් වැඩක්‌ නෑ. මේ කොන්ත්‍රාත්වලින් කරපු එකම වැඩක්‌වත් සාර්ථක වෙලා නෑ. වැස්‌සට වැවේ පිරෙන ජලයෙන් ප්‍රයෝජනයක්‌ ගන්න නම් ඇළ මාර්ග කොන්ක්‍රිට්‌ කරලා පහළම තියෙන ඉඩම්වලට පවා වතුර ගන්න පුළුවන් විදියට සකස්‌ කරන්න ඕනෑ. ගොවීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ කාත් කවුරුවත් ඇස්‌ හැරලා බලලා නැහැ.

ධම්මික නන්දකුමාර - මොනතරම් ප්‍රයෝජනවත් වැවක්‌ වුණත් එක්‌ එක්‌ නිලධාරීන්ගේ මෙන්ම කොන්තරාත්කරුවන්ගේ ගසාකෑම් නිසා හැම වැඩක්‌ම අසාර්ථක වෙලා. හරියට බැලුවොත් මහවැවේ ප්‍රමාණය අක්‌කර 100 කටත් වැඩි වගෙයි. නිලධාරීන් එනවා යනවා බලනවා වැඩක්‌ නම් කෙරෙන්නේ නැහැ. මුහුදක්‌ වගේ මේ වැවේ වතුර පේන්න තිබුණට ඒ තරම් ධාරිතාවක්‌ නෑ. මොකද පොඩි නියඟයටත් මේ වැව හිඳෙනවා. ජලධාරිතාවක්‌ අල්ලන්නෙ නැත්තේ රොන්මඩ, පස්‌, වැලිවලින් ගොඩවෙන නිසා අවුරුදු පතාම වැව හිඳෙන කොට මිනිස්‌සු වැව් ඉහත්තාවෙ එක එක දේවල් වවනවා ගොවිතැන් කරනවා එතකොට වැස්‌සට පස්‌ටික සේදිලා වැවට එනවා. මේකෙ රක්‍ෂිතයක්‌ වෙන්කරලා නැහැ රක්‍ෂිතයක්‌ හරියට වෙන්කරලා නීත්‍යානුකූල කරලා තියෙනවා නම් මේ පළාතේ ඉන්න කිරි ගොවීන්ගේ එළ ගවයින් හා මී ගවයින්ට තණකොළ කෑමට වැව්පිටියට එවිය හැකියි.

සමන් රත්නායක (40) -අපිට මතකයි ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා හිටිය කාලෙ මේ ප්‍රදේශයේ ගම් උදා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් විශාල සංවර්ධනයක්‌ පටන් ගත්තා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා නොයෙක්‌ නොයෙක්‌ යටිතල පහසුකම් ලබාදෙමින් කටයුතු රැසක්‌ කරමින් සිටිනවා. මේ පළාතේ වැඩි දෙනෙක්‌ රජයේ රැකියා කරන අය නොවෙයි. ගොඩ මඩ ගොවිතැන් කරනවා හරක්‌ ඇති කරනවා කුලීවැඩ කරනවා ඔය වගේ දේවල් තමයි. එනිසා අපි ඉල්ලා සිටින්නේ අඩු පාඩුවක්‌ නැතුව මේ වැව ශක්‌තිමත් කර තවත් පහත් බිම් සංවර්ධනය කරන්නට ජලය ගෙන යා හැකි විදියට කටයුතු කර දෙන ලෙසයි. ගොවීන් නොයෙක්‌ නොයෙක්‌ අවස්‌ථාවල ලියුම්, පෙත්සම් සංදේශ ඉදිරිපත්කරලා තියෙන්නේ. ඒත් තවමත් කාගෙවත් අවධානයක්‌ මහවැව වෙත යොමෙqවලා නැහැ.

එම්. ඒ. විජයනන්ද (57) මහතාද මහවැව ප්‍රදේශයේ අද ඉරණම ගැන කතා කළේ මෙහෙමයි. මේ පළාත් ගැන බලපුවම ආදී කාලයේ ඉඳලා පේනතෙක්‌ මානයම කුඹුරු ගොවිතැන් කරපු ඉතාමත්ම සශ්‍රීක ප්‍රදේශයක්‌. ඒක බලාගන්න පුළුවන්. හැම තැනකම තියෙන වැව් අමුණු දිහා බැලුවම. අදත් ඒ වගේම ගොවිතැන් කරන්න පුළුවන්, ඒත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ හැම වැවක්‌ම අබලන්. ඇළ මාර්ග කැඩිලා. හදිසියේ යම් සංවර්ධනයක්‌ කළොත් ඒවාට වෙන් කරන මුදල් හරි හැටි පාවිච්චි වෙන්නේ නැහැ. ගසාකෑම් සහ අයථා ආකාරයට වියදම් වෙන නිසා, ගොවීන් බලාපොරොත්තු වෙන දේ ඉටු කෙරෙන්නේ නැහැ. ඉතින් අපි ආණ්‌ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවගේ දැවෙන මේ මූලික ප්‍රශ්න විස¹දීමට ඉක්‌මණින්ම ගොවීන් සමඟ සාකච්ඡා කරලා පියවරක්‌ ගන්න කියලයි.

අප මෙතෙක්‌ වේලා සටහන් කළේ රුහුණු දනව්වේ එදා එකම කෙත්යායක්‌ බවට පත්ව තිබූ මෙරට පාලනය කළ රාජ මහාමාත්‍යාදීන් විසින් සාර භූමියක්‌ බවට පත්වූ තිබූ ගොවි දනව්වකින් ඇසෙන කළ කිරීමේ කෝපයේ සහ වේදනාවේත් බලාපොරොත්තුවේත් කතාවකි.

ගොවි ජනතාවට නිරතුරුවම අවශ්‍ය වනුයේ මාධ්‍යවලින් පෙන්නන ඇසෙන සංවර්ධන සංදර්ශන නොවේ. ඇසට පෙනෙන සිතට දැනෙන හා පපුවට වදින සංවර්ධනයකි. මේ මහ වැව සංවර්ධනය තුළින් ඉලක්‌ක කළ හැකි පහත් බිම් තව කොතෙකුත් ඇත. සංවර්ධනයට යොදා ගත හැකි ගොඩබිම් රැසක්‌ද ඇත. ගොඩ මඩ ගොවිතැනින් මහවැවට අවට හිස්‌ ඉඩම් සංවර්ධනය කරන්නට නම් කඩිනමින් කෘෂිකර්ම, ගොවි ජනසේවා වන සම්පත් බලධාරීන් එකට එක්‌සත් විය යුතුයි.

වැල්ලවාය දඹේගොඩ ජිනදාස

No comments:

Post a Comment