'කැකිරි' දෙන හැටි මෙන්න
කිරිගවයා
අපේ අයට කිරි අම්මා වුණේ තම ජීවිකාව කිරිගවයා වූ නිසාය. අපේ
රටපුරා විසිරී සිටින කිරි ගොවි ජනගහනය ලක්‍ෂ 12 ක් ඉක්‌මවා
තිබුණද අද ඒ තත්ත්වය වෙනස් වෙලාය. අපේ ඇත්තන්ට මේ කිරි ගවයා
රැකබලා ගැනීම කරදරයක් වෙලාය. මේ නිසා වසර කීපයක් තමන්ට
ජීවත්වීමට ඇඟ ලේ කිරි කර දුන් මේ කිරි ගවයින්ගේ ජීවිතය ඊළඟට
කිලෝ ගණනට මුදල් කර ගන්නට අපේ ඇතැම් අය පෙළඹිලාය.මේ ඛේදවාචකය පිළිබඳව ඔබගේ දැස් විවර කරන්නට අප පුංචි උත්සාහයක් ගත්තේ මේ අයුරිනි.
"මගේ වයස දැන් අවුරුදු 68 ක් වෙනවා. අපේ තාත්තා තාත්තාගේ තාත්තලත් ජීවත් වුණේ කිරි ගවයන් නිසයි. අපේ පවුලේ අයට කිරිගව පාලනය පිළිබඳ දීර්ඝ කාලයක සිට අත්දැකීම් තිබෙනවා. අපේ පවුලේ 15 දෙනෙක් ජීවත් වුණේ කිරිගවයින් ගෙන්. එදා අපිට අපේම කියල කිරි ගවයින් 40 ක් හිටියා. අද නම් ඉන්න හත්දෙනයි". මම අලුවිහාරේ මහතාගේ කතාවට බාධා කරමින් "එහෙම වුණේ ඇයි" දැයි ප්‍රශ්නයක් ඔහුට යොමු කළෙමි.
"දිගු කාලයක් කරගෙන ආපු මේ කිරිගව පාලනය අද අපට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපේ රටේ යුද්ධය පැවැති කාලයේත් පුන්නක්‌කු කිලෝ 50 ක මිටියක් රුපියල් 1000/- කට ගන්න පුළුවන් වුණා. අද පුන්නක්‌කු මිටියක් රුපියල් 2500-3000/- ක් වෙලා. හාල් නිවුඩු කුඩු කිලෝ එකක් ඒ දවස්‌වල ශත පනහයි. අද නිවුඩු කුඩු කිලෝ එකක් රුපියල් 30/- ක් වෙනවා. විටමින් කිලෝ 10 ක් රුපියල් 1600 ක් වෙනවා. කිරිගව පාලනයේ හැම දේම මිල ඉහළ ගිහිල්ලා. නමුත් අපට කිරි ලීටරයකට ලැබෙන මිල රුපියල් 20- කින් තමයි වැඩි වුණේ. එහෙම කිව්ව ඔහු ඔවුන් ගේ කිරිගව පාලනය පිළිබඳව ඔවුන් සතුව ඇති වාර්තා ජයග්‍රහණ පිළිබඳ ලේඛනයක්‌ද මට ලබා දුන්නේය.
පේරාදෙණිය ගැටඹේ පොලිස් ස්‌ථානය ආසන්නයේ පිහිටි අලුවිහාරේ මහතාගේ ගොවිපල මැනවින් සැලසුම් කර ඇති බවක් අපට දැක ගන්නට ලැබුණි. ගොවිපලේ ඇති ගාල අද කිරිගවයන්ගෙන් හිස්‌වෙලාය. අලුවිහාරේ මහතා මට ලබාදුන් අමුත්තන්ගේ සටහන් පොත බැලූ මට පෙනුණේ අපේ රටේ සිටි පශු සම්පත් අමාත්‍යාංශය භාරව කටයුතු කළ බොහෝ ඇමැතිවරු මේ ගොවිපල නිරීක්‍ෂණය කිරීමට පැමිණ ඇති බවකි. එමෙන්ම ලංකාවේ ඈත ප්‍රදේශ වල පශු සම්පත් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරීන් ගොවීන් වගේම විදේශීය සංචාරකයන්ද මෙම ගොවිපලෙන් දැනුම බෙදා හදාගෙන ඇත. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශිෂ්‍යයන් ඔවුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම් වලට යොදාගෙන තිබුණේ අලුවිහාරේ මහතාගේ ගොවිපලය. රටේ උදවියට දැනුම වගේම රටේ කිරි අවශ්‍යතාවට වැඩි කිරි ප්‍රමාණයක් ලබා දුන් මේ ගොවිපල අද ලංකාවේ කිරි ගවපාලනයට අත්ව ඇති ඉරණමට හොඳම සාක්‍ෂියක් යෑයි සිතමි.
"අපිට කිරි ලීටරයකට ලැබෙන මුදල රුපියල් හැටක්. මීට පෙර දිරි දීමනා කියලා කිරි ලීටරයකට රුපියල් 03 ක් ලබා දුන්නා. ඒක අපට විශාල ශක්‌තියක් වුණා. දැන් ඒක නවත්තලා. මේ ගොවිපල දියුණු කර ගන්න අපිට හොඳ වර්ගයේ ගව පැටවුන් ලබා දෙන්න කියල අපි ඉල්ලීමක් කළා. නිලධාරීන් ඒකට කඹ අදිනවා. මීට වසර 10 කට විතර ඉස්‌සර උදව් කරපු දේවල් කියමින් ගව පැටවුන් ලබා දීම ප්‍රතික්‍ෂේප කරනවා. අද රජයෙන් ගව පැටවුන් ලබා දෙන්නේ ගවපාලනය පිළිබඳ උනන්දුවක් නැති ඒ ගැන පළපුරුද්දක් නැති අයට. එහෙම වුණාම ඒ අය ටික කාලයකින් කිරි ගවයා විකුණනවා. නැත්නම් වෙන කාටහරි දෙනවා.
එවර අලුවිහාරේ මහතා සිය හඬ අවදි කළේ ආවේගාත්මකවය. "මේ නිලධාරීන් තමයි, මේ කිරිගව ව්‍යාපාරය විනාශ කරන්නේ. අපේ රටේ ලක්‍ෂ 12 කට වැඩි ජනගහනයක් ජීවත්වෙන්නේ කිරි ගොවීන් විදිහට. දැන් ඒ ප්‍රමාණය අඩුවෙලා. පසුගිය මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ පරාජයට එක හේතුවක් වුණා, මේ කිරිගව පාලනය කරන ගොවීන් තුළ ඇති කලකිරීම. නව රජයටත් මැතිවරණයේ දී ඒ පාඩම ඉගෙන ගන්න වේවි යෑයි ද ඔහු සඳහන් කළේය.
අපි මේ ගැන මධ්‍යම පළාතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. කුලේස්‌වර කුමාර් මහතාගෙන් කරුණු විමසුවෙමි. "කිරි ගොවීන් කියන තරමට කිරි ගව පාලනය බිඳවැටිල නෑ. අපි ජාතික කිරි අවශ්‍යතාවෙන් දැනට 31% ලබා දෙන්නෙ මධ්‍යම පළාතෙන්. 2020 වන විට එය 40% ක් කරන්න අපි උත්සාහ කරනවා. අපේ පළාත් තුළ කිරි ගොවීන් 65000 ක් විතර ඉන්නවා. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ අඩුවක් තිබෙන බව ඇත්ත. ඒකට හේතුව ඉඩම් ගැටලුව. තිබෙන ඉඩම වෙනත් වටිනා දෙයකට යොදවන්න පුළුවන් නම් ගව පාලනයට යොදා ගන්නෙ නෑ.
අපි ගොවීන්ට පැටවුන් මිල දී ගන්න රුපියල් 35000 ක් දෙනවා. ඒ වගේම ගාල හදා ගන්නත් රුපියල් 35000 ක් දෙනවා. අප මුහුණ දෙන ගැටලුව තමයි අපිට පශු සම්පත් අංශයට නිලධාරීන් අඩුයි. අපේ පළාතට නිලධාරීන් 103 ක් ඕනේ. දැනට ඉන්නේ 70 යි. ළඟ දී අලුත් නිලධාරීන් පත්ව එන්න නියමිත බවද ඔහු කීවේය.
ඕ. ජී. කරුණාවතී මහත්මිය මෙගොඩ කඳගමුවේ කිරි ගෙවිලියකි. ඇය සඳහන් කරන්නේ මේ ක්‍ෂේත්‍රයේ තවත් පැත්තකි. "අපේ ගවයන්ට ලෙඩක් හැදුණොත් වෛද්‍යවරුන් ගෙන්වා ගන්නත් වියදම් යනවා. ගමන් ගාස්‌තු බේත් සියල්ල අපි ගෙවන්න ඕනේ. පේරාදෙණියෙ පශු වෛද්‍යවරුන් නම් බෙහෙත්වලට පමණයි අය කරන්නේ. අපි ජීවත්වෙන්නෙ මේ එළදෙනගෙන් ලැබෙන කිරි ටික විකුණලා. ගාල හදා ගන්න හරි තව කිරි ගවයෙක් ගන්න හරි අපිට අමාරුයි. මේවා බලන්නවත් කවුරුත් ඇවිල්ලා අපිට උදව් කරනවා නම් හොඳයි".
මේ කිරි ගොවි ගැටලුව සම්බන්ධ අප කළ නිරීක්‍ෂණයේ දී හෙළි වූ තවත් කරුණු බොහොමයකි. විශේෂයෙන් කිරි මණ්‌ඩලය අහෝසි වීමෙන් පසු කිරි ගොවීන් තම කිරි ලබාදුන්නේ මිල්කෝ සමාගමටය. අද වන විට මිල්කෝ සමාගමද කිරි එකතු කරන්නට නියෝජිතයන් පත්කර ඇති නිසා ගොවීන් තුළ ඇත්තේ කළකිරීමකි. එමෙන්ම කිරි ගවයින්ට අවශ්‍ය තෘණ වගාවට ඉඩම් නොමැතිකමත් තෘණ ලබා ගැනීමට කම්කරු කුලී ප්‍රවාහන දීමනා ඉහළ යැමත් මේ ක්‍ෂේත්‍රයේ තවත් ගැටලුවකි.
එමෙන්ම කිරි ලීටරයකින් යෝගට් 12 ක් නිෂ්පාදනය කළ හැකි අතර එක් යෝගට් එකක් අලෙවි වන්නේ රුපියල් 30 කටය. එසේ නම් කිරි ගොවීන් ගේ ශ්‍රමයෙන් සැප සම්පත් විඳිමින් ලාභ ලබන්නේ කවුරුන්දැයි රජය අවධානය යොමු කර කිරි නිෂ්පාදනයේ යෙදෙන ගොවීන් ආරක්‍ෂා කොට ඔවුන් ගේ යහපතට කටයුතු කළ යුතු නොවේද?
ඡායාරූප හා සටහන - ජයසූරිය උඩුකුඹුර
No comments:
Post a Comment